චීන ආයෝජකයින්ගෙන් ඉල්ලීමක්

    January, 13, 2021

    තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය වන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 05 වැනි දින ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනයෙහි සභාපති ගුවෝ ෂාවෝපින් මහතාගේ ආරාධනයෙන් එම ආයතනයට පැමිණි අවස්ථාවේ මෙම ඉල්ලීම කෙළේය. ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ එහි පැමිණි ශ්‍රී ලාංකික දූත පිරිස එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැය අටකට අධික කාලයක් ගත කළ අතර, තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඇතිකර ගත හැකි අංශ පිළිබඳව සාකච්ඡා කළහ. චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් යනු චයිනා එරෝස්පේස් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි (CASC) ආයතනයෙහි අනුබද්ධිත ආයතනයක් වන අතර, එය චීනයේ තාක්‍ෂණික දියුණුව සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. "සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ආයෝජන, වෙළඳාම සහ රටේ සංවර්ධනය සඳහා කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා චීන පාර්ශවයට විස්තර කළේය. තවද, 2021 අයවැය මඟින් විදේශ සෘජු ආයෝජන සඳහා ලබා දී ඇති සහන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය, අපද්‍රව්‍යවල සිට බලශක්තිය දක්වා කළමනාකරණය, වෙළඳ හා සංචාරක කටයුතු සහ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට සංවර්ධන කලාපය යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථාවන් පිළිබඳව එතුමා විස්තර කළේය.

    වත්මන් රජයේ ආයෝජන ප්‍රතිපත්තිය පිළිබඳව තවදුරටත් අවධාරණය කරමින් ආචාර්ය කොහොන මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ගොඩබිම් සහ මුහුදි මාර්ගික ආර්ථික ප්‍රවේශය (BRI) හි ක්‍රියාකාරී හවුල්කරුවෙකු වීම නිසා සිය තොරතුරු තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීමට, චීන සමාගම් වෙතින් විශාල ආයෝජන අපේක්ෂා කරන බවයි.

    මෙහිදි චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් හි සභාපති ගුඕ මහතා ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කළේය. ලාභදායී චීන වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන ශ්‍රී ලාංකික සමාගම්වලට තම සමාගම් හරහා ආධාර සැපයීමට ද සභාපතිවරයා එකඟ විය.

    තානාපතිවරයා සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කේ. කේ. යෝගනාදන් මහතා සහ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා ද සහභාගී වූහ.