චීන පරිවර්තකයින් හෙට අනිද්දාම මෙරට වැඩ පටන් ගැනීමට යයි

    August, 25, 2014

    චීන සංචාරකයින් මෙරටට පැමිණීම විශාල ලෙස වැඩිවී තිබෙන බවත් වැඩි කාලයක් යෑමට පෙර මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් එන රට චීනය වනු ඇති බවත් සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති (Sri Lanka Inbound tour operator’s association) මහේන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

    අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරටට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක මග පෙන්වන්නන් සමග චීන භාෂා පරිවර්තකයින් 20 දෙනෙකුගේ සේවය ලබාගැනීමට රජය කටයුතු කර තිබෙන බවයි.

    “මෙම චීන භාෂා පරිවර්තකයින් තවත් දින කිහිපයකින්ම වැඩ ආරම්භ කරාවි. මෙරට සංචාරක මගපෙන්වන්නන් කියාදෙන දේවල් ඔවුන් විසින් චීන සංචාරකයින්ට චීන භාෂාවෙන් කියාදීම සිදුකරනවා.“

    යනුවෙන් මහේන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.

    චීන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලංකාව පසුගිය කාලයේදී ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ම සිදුකළේය.

    රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව ගෙවුණු ජූලි මාසයේදී මෙරටට චීනයෙන් පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය සියයට 172.2 කින් වර්ධනය වී 15,178 දෙනෙකු වී තිබේ.

    ලෝකයේ දැවැන්තම ආර්ථිකය බවට පත්වෙමින් තිබෙන චීනය තුළ මේ වනවිට ඉතාමත් විශාල ධනවතුන් පිරිසක් බිහිවෙමින් තිබෙන අතර ඔවුන් ඉදිරියේදී වැඩි වශයෙන් පිටරටවල සංචාරය කරනු ඇතැයි විශ්ලේෂකයින් සඳහන් කරයි.