ඡන්ද ගන්න තවත් ජනප්‍රිය පොරොන්දු එපා. ආර්ථිකය අර්බුදයේ -පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි

    May, 27, 2015

    ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.

    ඉදිරි මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සැකසීමේ ක්‍රියාවලියේදී සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා ප්‍රායෝගිකව සිදුකළ හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව එම පක්ෂ වලට අවධාරණය කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා උනන්දුවක් දක්වන මෙම පදනම විසින් සම්පාදනය කර තිබෙන “සැමට පොදු සමෘද්ධියක් කරා ඉදිරිමග සැලසුම් කරමු“ යන ප්‍රකාශනයේ මේ බව දක්වා තිබේ.

    මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය.

    ආදායම් සහ වියදම් යන අංශ දෙක සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙන්නට බොහෝ ඉඩකඩ ඇති හෙයින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසීමේදී දේශපාලන පක්ෂ වැඩි මූල්‍ය වගකීමකින් යුතුව කටයුතු කිරීම අතිශයින් වැදගත් බව මෙහිදී අවධාරණය කර ඇත.

    සත්‍ය වශයෙන්ම ලබාදීමට නොහැකි දීමනා සහ සහන ලබාදීම මගින් මෙරට ජනතාව තවදුරටත් නොමග යැවීම නොකරන ලෙසත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉදිරිපත් කරනු ලබන දීමනා, සහන සහ සුභ සාධක ක්‍රියා මාර්ග සියල්ලම සම්බන්ධයෙන් පිරිවැය ගණනය කිරීමක් කරන ලෙසත් පාත්ෆයින්ඩර් පදනම ඉල්ලා ඇත.

    මෙම සහන ලබාදීමට වැයවන පිරිවැය උපයා ගන්නා ආකාරයද තම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන ලෙසත් සත්‍ය වශයෙන්ම සහන ලබාදෙන්නේ කෙසේදැයි ජනතාවට මේ තුළින් අවබෝධයක් ලබාගත හැකි බවත් සඳහන්ය.

    මෙම ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පැවසුවේ මෙරට ආර්ථික සංවර්ධනයට ඉතාමත් වැදගත් වන්නේ යහපත් ආයෝජන පරිසරයක් ඇති කරමින් සෘජු විදේශීය ආයෝජන වැඩිපුර ගෙන්වා ගැනීම බවයි.

    ඒ තුළින් ඉදිරි කාලයේදී සියයට 10 ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ලංකාවට අතිශය වැදගත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යම කාරණයක් බවත් හෙතෙම සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක බවත් ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් පසුව ලංකාවේ කැපී පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුණු බවත් මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසීය.

    ආර්ථික ප්‍රතිසංස්කරණ කලට වේලාවට නොකර ඒවා ප්‍රමාද කළහොත් අනාගතයේදී ඒවා කිරීමට යන පිරිවැය අධික වනු අතැයිද හෙතෙම අවධාරණය කළේය.

    සේයාරුව-

    (වමේ)- ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, (මැද) ලක්ෂ්මන් සිරිවර්ධන සහ (දකුණේ) මහාචාර්ය සිරිමල් අබේරත්න.