ජනපති අපේක්ෂකයෝ කොටස් වෙළෙඳපොළ ගැන මෙසේ කියති

    October, 31, 2019

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට එළිදක්වා තිබේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් මෙකී අපේක්ෂකයින් තිදෙනාම අවධානය යොමුකර තිබීම විශේෂයෙන් දැකිය හැකිය.

    මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාගේ “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ‘ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ‘ අනුශීර්ෂය යටතේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇත.

    එසේම නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ “ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත - එක්ව ගමන යමු“ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ‘ පිළිබඳව විශේෂයෙන් සඳහන් කොට තිබේ.

    මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ “දේශයේ අපේක්ෂාව“ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ‘ආයෝජන හා ව්‍යාපාර සිදුකිරීමේ පහසුව ඇතිකිරීම‘ අනුශීර්ෂය යටතේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

    එක් එක් අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආකාරය පහතින් දැක්වේ.

     

    ගෝඨාභය රාජපක්ෂ - “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ

    කොළඹ කොටස් වෙළෙඳපොළ යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතම සාධකය නම් ආයෝජකයන් තුළ විශ්වාසය ගොඩනැඟීමය. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අප සතුව ඇති බව ආයෝජකයන්ට සහතික කෙරේ. ඒ සඳහා ගතයුතු පියවර කිහිපයක් පහත දැක්වේ.

    • කොළඹ කොටස් වෙළෙඳපොළ අසාමූහීකරණය කිරීම (Demutualization).
    • අලුත් සමාගම්, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ලිහිල් කිරීම වැනි නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීම.
    • කොටස් වෙළෙඳපොළ පිළිබඳව ආයෝජකයින් සහ මහජනතාව තුළ සෘණාත්මක ආකල්ප දුරු කිරීම සඳහා වඩාත් සදාචාරවත් කොටස් වෙළෙඳපොළ සංස්කෘතියක් බිහි කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම විසින් සිදු කරනු ලබන නියාමනය වඩාත් ඵලදායී කිරීම සහ කොටස් වෙළෙඳපොළ ආශ්‍රිතව සිදුවන වංචා සහ දූෂණවලට එරෙහිව නීතිමය පියවර ගැනීම.
    • රාජ්‍ය බැඳුම්කර වෙළෙඳපොළ සම්බන්ධ විධිවිධාන සහ විදේශිකයන්ට රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති 10% සීමාව පිළිබඳව යළි සලකා බැලීම.
    • භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ කටයුතු තවදුරටත් ප්‍රසාරණය සහ නියාමනය කිරීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම.

     

    සජිත් ප්‍රේමදාස - “ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත - එක්ව ගමන යමු“

    ප්‍රාග්ධන වෙළෙඳපොළ

    අපි ප්‍රාග්ධන වෙළෙඳපොළවල යහපාලනය ශක්තිමත් කරන්නෙමු.

    • ප්‍රාග්ධන වෙළෙඳපොළවල් හොඳින් නියාමනය කෙරෙනු ඇති අතර සියලුම පාර්ශවකරුවන්ට කාර්යක්ෂමභාවය හා ආරක්ෂාව සැපයෙනු ඇත.
    • මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම, ධාරිතාවය ගොඩනැගීම සහ අවංක නායකත්වය සහතික කිරීම වෙනුවෙන් නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත බලාත්මක කිරීම වේගවත් කරන්නෙමු.
    • විනිවිදභාවය වැඩි කිරීම, සිල්ලර ආයෝජකයින්ට වැඩි ප්‍රවේශයක් ලබා දීම, රජයට වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවය වැඩි දියුණු කිරීම සඳහා අපි කොළඹ කොටස් වෙළෙඳපොලේ රජයේ සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම වේගවත් කරන්නෙමු.

     

    අනුර දිසානායක - “දේශයේ අපේක්ෂාව“

    ආයෝජන හා ව්‍යාපාර සිදුකිරීමේ පහසුව ඇතිකිරීම

    • ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු කාර්යක්ෂම කිරීම හා මහජනතාව සාමූහික ආයෝජන සඳහා කැඳවීමට හැකිවන පරිදි ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත්, අයථා ගනුදෙනු හා වංචා වැළැක්වීමටත් හැකිවන පරිදි ආයතන පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීම හා සුරැකුම්පත් විනිමය නීති සංශෝධනය කිරීම.
    • සමාගම් කොටස්වල ආයෝජනය කිරීම සදහා සේවකයින්ට අවස්ථාව ඇති විටය එම කොටස් මිල දී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම සඳහා විශේෂ ණය අරමුදලක් පිහිටුවීම.