ජනවාරි මාසයේ දී අපනයන ආදායම් පහළට. හේතු මෙන්න

    March, 1, 2023

    සමස්ත අපනයන - වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 සැප්තැම්බර් මාසයේ සිට අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වේගයකින් වුවද, අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කරමින් 2023 වසරේ ජනවාරි මාසයේ දී 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියනව 978 ක් දක්වා සියයට 11.3කින් පහළ ගියේය. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ඉපැයීම් පහළ ගිය අතර, ඒ අතරින් කාර්මික අපනයන පහළ යෑම කැපී පෙනුණි.

    කාර්මික අපනයන - 2023 වසරේ ජනවාරි මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහළ ගිය අතර, මෙම සමස්ත පහළ  යෑම සඳහා බොහෝ ප්‍රධාන වෙළෙඳපොළ (ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) තුළ පැවති ඉල්ලුම පහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් අපනයන විශාල වශයෙන් පහළ යෑහ හේතු විය.

    මේ අතර, නැව් සඳහා සපයන ලද ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ද, නැව් සහ ගුවන් යානා සඳහා සපයන ලද ඉන්ධන පරිමාවන් පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පහළ ගියේය.

    තවද, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ සහ යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ (ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ) අපනයන ආදායම ඉහළ ගිය ද, රබර් නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් ගෘහස්ථ රබර් අත්වැසුම්) අපනයන පහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණි.

    කෘෂිකාර්මික අපනයන - පොල් ආශ්‍රිත නිෂ්පාදිත යටතේ වර්ගීකරණය කරන ලද පොල් කෙඳි සහ දිසිඳි පොල් අපනයන ප්‍රමාණය පහළ යෑමේ හේතුවෙන් කෘෂිකාර්මික භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී පහළ ගියේය.

    කෙසේවෙතත් තේ අපනයන පරිමා පහළ ගියද, තේ අපනයන මිල ගණන්වල සාමාන්‍යය ඉහළ යෑමත් සමඟ තේ අපනයන ආදායම වර්ධනය විය. 2021/22 කාලපරිච්ඡේදය තුළ ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීමේ පසු බලපෑම හේතුවෙන් කෘෂිකාර්මික අපනයන සියල්ලම පාහේ පරිමාව සාමාන්‍යයෙන් පහළ මට්ටමක පැවතුණි.

    ඛනිජමය අපනයන - ප්‍රධාන වශයෙන් ක්වාට්ස් සහ ස්වභාවික මිනිරන් කුඩු අපනයන පහළ යෑහ හේතුවෙන් 2023 වසරේ ජනවාරි මාසයේ දී ඛනිජමය අපනයන ආදායම 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහළ ගියේය.