ජනවාරි 18 න් පසු ලොකුම විදෙස් ණය ගෙවීම ජූලි 25 වෙනිදා

    January, 13, 2022

    2022 වසරේ ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් කල්පිරීම හේතුවෙන් එය පියවීම සිදුකෙරෙන බවත් ඉන්පසු ජූලි 25 දා තවත් ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් කල්පිරීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා පවසයි.

    ඊයේ (12) විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ආසිම් මහතා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා,

    ජනවාරි 18 වෙනිදා අපිට තියෙන ඩොලර් මිලියන 500 ක් ගෙවන්න, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් කල්පිරෙනවා.

    ඒ වගේම ජූලි 25 වෙනිදා තවත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් කල්පිරෙනවා ඇමරිකානු ඩොලර් බිලියනයක.

    ඊට අමතරව මුළු අවුරුද්ද පුරාම නොයෙක් කාලවකවානුවල අපිට තියෙනවා විදේශ ණය සේවාකරණය කරන්න. මේ සඳහා අවශ්‍ය සම්පත් එක් ආකාරයකින් අප රැස්කර ගන්නේ අපේ දැනට පවතින විදේශ සංචිත විතරක් නෙමෙයි, මේ කාලසීමව තුළත් රටට ඇතුල් වෙන විදේශ විනිමයන් වගේම රටින් පිටවෙන විදේශ විනිමයන් ගැනත් සංසන්දනය කරලා.

    මේ සම්බන්ධයෙන් අප වෙනත් ආකාරයකට කල්පනා කරලා බැලුවොත්, ඕනෑම පුද්ගලයෙකුට හඳුනාගන්න පුළුවන් අපේ සංචිත 2019 අවුරුද්ද අවසන් වෙන කොට කොච්චර ප්‍රමාණයක ද තිබුණේ, 2020 අවුරුද්ද අවසන් වෙන කොට කොච්චර ප්‍රමාණයක ද තිබුණේ, 20201 අවුරුද්ද අවසන් වෙන කොට කොච්චර ප්‍රමාණයක ද තිබුණේ.

    2020 වසරේ දී බිලියන 5කට වැඩි ප්‍රමාණයක් තිබුණා. 2021 වසරේ දී බිලියන 3 ට වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් 2021 වසර සම්පූර්ණයෙන්ම ගත්තොත් අපට ඩොලර් බිලියන 6.5 කට වැඩි ප්‍රමාණයක් විදේශ මුදලින් ණය සේවාකරණය කරන්න පුළුවන් වුණා.

    එතකොට 5 සිට 605 ක් අපි ගෙව්වොත් ඇත්තටම ඉතුරු වෙන්නේ -1.5 ක්. නමුත් ඇත්තවශයෙන්ම අපේ ලඟ තියෙන සංචිත ප්‍රමාණය බිලියන 3කට වැඩියි. ඒ කියන්නේ ධනාත්මක ශුද්ධ විදේශ සංචිතයක් අපිට ඉතුරුවෙලා තියෙනවා.

    මේකෙන්ම අපිට පේනවා රටකට ගලා එන විදේශ විනිමය වගේම, ඒ අවශ්‍ය ගෙවීම ගළපා ගැනීම කාලානුරූපීව අප කළ යුතුයි. මේ කාර්යය අපි ඉතාමත්ම සුපරීක්ෂාවෙන් සිද්ධ කරගෙන යනවා.