ජනාධිපතිවරණය මැද්දේ සංචාරකයින් ආවේ මෙහෙමයි

    February, 16, 2015

    පසුගිය ජනවාරි මාසයේදී මෙරට ජනාධිපතිවරණ උණුසුමක් පැවතියක් එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 2014 ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 6.6 කින් වර්ධනය වී තිබෙන අතර සංචාරකයින් 156,246 ක් පැමිණ තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි.

    මෙහිදී, ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස වැඩි වෙද්දී රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය පහළ වැටී තිබේ.

    2015 ජනවාරි මාසයේදී මෙරටට පැමිණි ඉන්දියානුවන්ගේ ප්‍රමාණය සියයට 28.3 කින් 22,944 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙය වසර ගණනාවකට පසුව දකින්නට ලැබුණු ඉහළ වර්ධනයකි.

    කෙසේවෙතත්, රුසියාවෙන් පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය සියයට 13.6 කින් අඩුවී 9,240 ක් වෙද්දී යුක්රේනයෙන් පැමිණි ප්‍රමාණය සියයට 48.4 කින් පහළ වැටී ඇත. පෝලන්තයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණයද සියයට 17.6 කින් පහළ වැටී 1,808 ක්වී තිබේ.

    මේ අතර, නැගෙනහිර ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 1.5 ක් තරම් සුළු ප්‍රමාණයකින් වර්ධනය වී සංචාරකයින් 26,198 දෙනෙකු පැමිණ තිබෙන අතර චීනයෙන් පැමිණ තිබෙන ප්‍රමාණය සියයට 8.9 කින් වර්ධනය වී 11,735 ක්වී ඇත.

    ජනවාරි මාසයේදී ලංකාවට තෙවැනියට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙන රට වෙන්නේ චීනයයි.