ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම පමා කළේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන්ගෙන් උත්තර

    June, 1, 2015

    ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.

    පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.

    කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.

    ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.

    නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.

    මෙවර පොලිය වැඩියි -බන්දුල කියයි

    කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.