ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පහළට

    December, 22, 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. 2019 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 10.6හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 9.4 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 6.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    2020 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.47ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව, 2020 නොවැම්බර් මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.34ක් සහ සියයට 0.13ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2020 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සහල්, ලොකු ළූණු, පොල් සහ අර්තාපල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. මීට අමතරව, 2020 නොවැම්බර් මාසයේ දී ආහාර නොවන කාණ්ඩයේ ප්‍රවාහන (බස් ගාස්තු) උපකාණ්ඩයෙහි මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා විය.

    තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය සහ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පිළිවෙළින්, සියයට 4.5හි සහ සියයට 4.2හි නොවෙනස්ව පැවතුණි.