ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ඩිජිටල්කරණය කෙරේ

    December, 1, 2021

    දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි  ජාතික පුස්තකාලය  සහ තවත් මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය  කෙරේ .

    ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන්  කිරීම  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පළාත් පාලන ආයතන අතර ඊයේ (30 ) සිදුකෙරිණ .

    නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම  මෙමගින් සිදුකෙරේ.

    මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුලින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත.

    මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත KOHA විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරේ. අවශ්‍ය දත්ත ගබඩා කිරිම හා හුවමාරුව ලංකා රාජ්‍ය මේඝය (LGC ) මගින් සිදුකෙරෙනු ඇත.

    මේ සදහා අවශ්‍ය තාක්ෂණික පද්ධති නිර්මාණය පුහුණු හා සේවා පහසුකම් සැපයීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂන  නියෝජිතායතනය සපයයි. පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාවට නගයි .

    ඒ ඒ පළාත්පාලන ආයතන අවශ්‍ය ප්‍රතිපාදන හා මානව සම්පත් යොදවනු ඇත.  මෙම නියාමන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් දිවයිනේ අනෙකුත් සියලුම පුස්තකාල  එකම ජාලයකට සම්බන්ද කරගැනීම තුලින් වඩාත්  පලදායි මහජන සේවාවක් සැපයීම ඩිජිටල් කරනයේ මුලික අපේක්ෂාව බව මෙහිදී ප්‍රකාශ කෙරින .

    අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදුකෙරුණු අතර එම අවස්ථාවට ප්‍රධාන විධායක (ඉංජිනේරු) මහින්ද බි හේරත්,  ඩිජිටල් රාජ්‍ය ප්‍රධානි කාංචන තුඩුගල සහ ශ්‍රියානන්ද රත්නායක, අමිල කුලරත්න යන අධ්‍යක්ෂවරුන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, නියෝජනය කරමින් සහභාගි වූ අතර සභාපති සොනාල ගුණවර්ධන සහ අධ්‍යක්ෂජනරාල් ඩබ්ලිව් . සුනිල් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය නියෝජනය කරමින් සහභාගි වුහ. අදාළ මහජන පුස්තකාල නිලධාරිහු හා එම පළාත්පාලන ආයතන නියෝජිතයෝ ද මෙහිදී අවබෝධතා ගිවිසුම් අත්සන් කළහ.