ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරනවා – නව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

    August, 13, 2020

    නව රජයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙසින් පත්වීම් ලද බන්දුල ගුණවර්ධන මහතා අද (13) දින සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගනු ලැබීය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, තමා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය තමා මීට පෙර ලබා ගෙන ඇති බවත්, එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

    “අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම‘ වැඩසහටන ක්‍රියාත්මක කිරීමේ එක් අංශයක් ලෙස වෙළෙඳ අමාත්‍යංශය, දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳාම් පිළිබඳ වගකීම් මා වෙත පවරා ඇති අතර එහි රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා ලසන්ත අලගියවන්න මහතා පත් කොට තිබෙනවා.“

    “ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතිරේක කාර්යභාරයක් මේ අමාත්‍යාංශයට පවරා දීලා තිබෙනවා. කලින් පැවතුණ වෙළෙඳ අලෙවි සංවර්ධන පාරිභෝගික සමූපකාර පිළිබඳ අමාත්‍යාංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුත් පවරා දීලා තිබෙනවා. අපනයන ප්‍රවර්ධනය සඳහා තිබෙන අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන අපිට ගැසට් කරලා තිබෙනවා. ඒ නිසා එතුමා කල්පනා කරන්න ඇති රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවන් 3ක් තියෙනවා. නිෂ්පාදනය, පරිභෝජනය සහ හුවමාරුව.“

    “හුවමාරුව කියන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මෙහෙයවීම පිළිබඳ වගකීම ඉෂ්ඨ කිරීම සඳහා විවිධ අණපනත් සහ අවශ්‍ය විවිධ වෙනස්කම් රාශියක් රට ඉල්ලා සිටිනවා. ජනතාව ඉල්ලා සිටිනවා. පසුගිය කාලය තුළ දී රටට අහිතකර ලෙස අත්සන් තබනු ලැබූ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ විශාල විරෝධතාවයක් ඇතිවෙලා තිබිලා, මේ රටේ විද්වතුන් ඉල්ලා සිටියා ලෝකයේ බොහෝ රටවලට මෙන් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් අපට තිබෙන්න අවශ්‍යයි කියලා. ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වන කැබිනට් අනුමැතිය මම මීට කලින් ලබා ගෙන තිබුණා. අපිට එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.“