ජූනි මාසයේ සංචාරක පැමිණීම ඉහළට. 2016 පළමු මාස 06 ට 16.2% ක වර්ධනයක්

    July, 5, 2016

    2016 මුල මාස 06 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 964,267 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 16.2% ක ඉහළ යාමක් බවත් නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2016 ජූනි මාසය දක්වා වන නවතම දත්ත සටහන් පසුගිය දා අනාවරණය කරන ලද අතර ඒ අනුව 2016 ජූනි මාසයේ දී 118,038 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. මෙය පෙර වර්ෂය හා සැසඳීමේ දී 2.2% ක ඉහළ යාමකි.

    පසුගිය ජූනි මාසය තුළ දී මැද පෙරදිග, පාකිස්තානය, මාලදිවයින, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවලින් පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් වාර්තා වන අතර මූලික වශයෙන් රාමසාන් උපවාස සමය හේතුකොට ගෙන මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය.

    මෙම පසුබිම තුළ ජූනි මාසය තුළ දී මැද පෙරදිග කලාපයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 58.2 කින් පහළ ගොස් තිබෙන අතර ප්‍රධාන වශයෙන් සෞදි අරාබිය 82.8% ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 69.2% ක්, ඕමාන් 86.2% ක්, කුවේට් 36.9% ක් වශයෙන් සංචාරක පැමිණීම පහළ ගොස් තිබේ.

    සමස්තයක් ලෙසින් ගත් කල 2016 ජනවාරි - ජූනි දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්, උතුරු ඇමරිකාව 16.5% ක්, බටහිර යුරෝපය 18% ක්, නැගෙනහිර යුරෝපය 7.8% ක්, මැද පෙරදිග 1.9% ක්, නැගෙනහිර ආසියාව 22.1% ක්, දකුණු ආසියාව 15.2% ක් සහ ඕස්ට්‍රල්ඒෂියා 15.7% ක් ලෙසින් කලාපීය වශයෙන් පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණයෙහි වර්ධනයක් සිදුව තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංචාරක අධිකාරිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ දත්ත සටහන පහත දැක්වේ.