ජූලියේ ණය පොලිය කොයිබටද ?

    July, 14, 2014

    වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ ජූලි මාසයේදීත් සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන අතර වාණිජ බැංකු වලට අවධාරණය කර තිබෙන්නේ ණය ලබාදෙන පොලී අනුපාත තවදුරටත් පහත දමන ලෙසයි.

    පසුගිය මැයි මාසයේදී බැංකු ක්‍රමයෙන් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය පසුගිය වසරේ මැයි සමග සැසඳීමේදී සියයට 2.2 කින් අඩුවී තිබෙන නිසා මහ බැංකුව පවසා තිබෙන්නේ අඩු උද්ධමනයක් තිබෙන පසුබිමක වාණිජ බැංකු වලට ණයදීමේ පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් තිබෙන බවයි.

    මහ බැංකුව පොලී අනුපාත අඩු කළත් එයට සාපේක්ෂව ලංකාවේ බැංකු පොලී අනුපාත අඩු නොකිරීම ප්‍රශ්නයක් බවත් විශාල බැංකු පොලී අන්තරයක් තිබෙන රටක් ලෙස ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන කාරණයකි.

    බැංකු විසින් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය සහ ණය කරුවන්ගෙන් අයකර ගන්නා පොලී අනුපාතය අතර වෙනස පොලී අන්තරය ලෙසින් සැලකෙන අතර මෙය හොංකොංවල සියයට 1.7 ක් තරම් වෙද්දී ලංකාවේ එය සියයට 4.3 ක් තරම් විශාල අගයක පවතී.

    බැංකු පොලිය අඩුවන විට පුද්ගලික අංශය වැඩිපුර ණය ගන්නා අතර එවිට රටක ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවේ. එය ආර්ථික වර්ධනය වැඩිවීමට ප්‍රබල හේතුවකි.

    මහ බැංකුව විසින් පොලී අනුපාත කෙතරම් පහළ දැම්මද එයට සාපේක්ෂ ලෙස වාණිජ බැංකු සිය පොලී අනුපාත පහත නොදමන්නේ නම් බලාපොරොත්තු වන ආකාරයේ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම අපහසුය.

    මේ අතර, රත්‍රන් ඇපයට තබා ගනිමින් පසුගිය කාලයේදී ලබාදුන් ණය ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩුවීම නිසා පැහැර හැරීම වැඩිවූ අතර එය මෙරට බැංකු වලට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.