ජූලි මාසයේ දී සංචාරකයින් එක්ලක්ෂ පහළොස්දහසක් ඇවිත්. දිනපතා පැමිණි ගණන් මෙන්න

    August, 5, 2019

    පසුගිය ජූලි මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,704 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2019 වසරේ මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 1,124,153 ක් ලෙසින් සටහන් වේ.

    2018 ජූලි මාසයේ දී මෙරටට 217,829 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. එය 2019 ජූලි මාසයේ දී 46.88%කින් පහළ ගොස් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පසුගිය මැයි හා ජූනි මාසවල දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 2018 වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව පිළිවෙලින් 70%කින් හා 57%කින් පහළ ගොස් තිබීණි. මේ අනුව සංචාරක පැමිණීම ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වන ප්‍රවණතාවයක් දකිනට ලැබේ.

    සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 ජූලි මාසයේ දී එක් එක් දිනයන් හි මෙරටට විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ඉහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.

    සමස්තයක් ලෙස 2019 මුල් මාස 07 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය, 2018 මුල් මාස 07 හි අගය වූ 1,382,476 ට වඩා 18.68% කින් පහළ ගොස් තිබේ. එමෙන්ම 2019 ජූලි මාසයේ දී පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2019 ජූනි මාසයට වඩා 83.44% ක ඉහළ යාමක් ලෙසින් සටහන් වාර්තා වේ.