ජූලි මාසයේ සංචාරක පැමිණීම 19% කින් ඉහළට

    August, 8, 2016

    2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 209,351 ක් දක්වා 19.1% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංචර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා අනාවරණය කර සිටී. ඒ 2015 වර්ෂයේ සමාලෝචිත මාසයේ වාර්තා වූ 175,804 ක සංචාරකයින් ප්‍රමාණයට සාපේක්ෂවය.

    මේ අනුව 2016 පළමු මාස 07 තුළ දී 1,173,618 ක සංචාරකයින් ප්‍රමාණයක් මේ දක්වා ශ්‍රී ලංකාව තුළට පැමිණ තිබේ. මෙය 2015 වසරේ පළමු මාස 07 තුළ වාර්තා වූ 1,005,855 ක සංචාරකයින් ගණන හා සැසඳීමේ දී 16.7% ක වර්ධනයකි.

    ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි බටහිර යුරෝපීය සංචාරකයින් ප්‍රමාණය 64,905 සිට 77,862 දක්වා 20% කින් ද, නැගෙනහිර යුරෝපීය සංචාරකයින් ප්‍රමාණය 7,378 සිට 7,472 දක්වා 1.3% කින් ද, නැගෙනහිර ආසියානු කලාපයෙන් පැමිණි සංචාරකයින් ගණන 35,572 සිට 42,890 දක්වා 20.6% කින් ද, දකුණු ආසියානු කලාපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 36,360 සිට 42,568 දක්වා 17.1% කින් යනා දී වශයෙන් වර්ධනය වී තිබේ.

    2016 ජූලි මස තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ චීනයෙනි. එය 30,631 ක් ලෙසින් වාර්තා වන අතර පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව එය 21.9% ක ඉහළ යාමකි. පිළිවෙලින් ඉන්දියාව 27,665 ක් හා එක්සත් රාජධානිය 23,948 ක් ලෙසින් ජූලි මාසය තුළ දී ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයින් පිරිසක් ආකර්ෂණය වූ අනෙකුත් රටවල් ලෙසින් වාර්තා වේ.

    2016 වසරේ දී අපේක්ෂිත මුළු සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 කි.

    මේ පිළිබඳ සම්පූර්ණ සටහනක් පහත දැක්වේ.