ජේම්ස් පැකර් එනවාද ? නැද්ද ? මෙන්න! රවී විජේරත්නගෙන් පිළිතුරු

    May, 2, 2014

    Exclusive - පවතින වාතාවරණය හමුවේ ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි පළවන මාධ්‍ය වාර්තාවන්ට මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාර්ශවකරුවා වන සුප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා අප සමග සම්බන්ධ වෙමින් පිළිතුරු දැක්වීය.

    ඔහු පැවසුවේ ජේම්ස් පැකර් සහ තමා පාර්ශවකරුවෙකු වන “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම“ විසින් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ඉදිරියේදී ජේම්ස් පැකර් සම්බන්ධ වන බවත් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

    “ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ ලංකාවේ මාධ්‍ය වාර්තා පදනම් කරගෙනයි. එහෙම නැතිව, කිසිම වෙලාවක ජේම්ස් පැකර් අදහස් දක්වා නෑ. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ යම් යම් කාරණා කිහිපයක් නිරාකරණය කර ගනිමින් ජේම්ස් පැකර් මෙම ව්‍යාපෘතියට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා.“

    යනුවෙන් රවී විජේරත්න මහතා අප සමග සඳහන් කළේය.

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යෘපෘති පනතට අදාළව මෙම ව්‍යාපෘතිය අනුමත කරමින් රජය සඳහන් කළේ මෙහිදී කැසිනෝ සඳහා අනුමැතිය ලබා නොදෙන බවයි.

    මේ පිළිබඳව අප රවී විජේරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය සත්‍යයක් බවත් රජය විසින් අළුතින් කැසිනෝ බලපත්‍ර ලබාදීමක් සිදු නොකරන බවයි.

    කෙසේවෙතත්, මේ වනවිටත් ලංකාවේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු සිදුවන බවත් තමා සතුව කැසිනෝ බලපත්‍ර දෙකක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    රවී විජේරත්න මහතාද පාර්ශවකරුවෙකු වන  “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්“ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් ආයෝජනයට සැලසුම් කර තිබෙන මුදල ඩොලර් මිලියන 350 කි.

    මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ දැනට ලේක් හවුස් ඉදිරිපිට තිබෙන රථගාල පිහිටි ඉඩමේයි.

    ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක පමණ ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ජේම්ස් පැකර් වෙත සිය පියාගෙන් උරුම වූයේ මාධ්‍ය හා සම්බන්ධ ව්‍යාපාරයක් වුවත් ඔහු සිය ව්‍යාපාරික කටයුතු විවිධ අංශ වෙත විවිධාංගීකරණය කිරීමට සමත් විය.

    සැලසුම් කර තිබෙන ක්‍රවුන් ශ්‍රී ලංකා හෝටලයේ සැලසුම මෙන්න.

    01c02c