ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ප්‍රථම වරට 4Ever Skin Naturals සමග තාක්ෂණ හුවමාරු ගිවිසුමකට අත්සන් තබයි

    March, 28, 2022

     ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන අංශය වන  ජෝන් කීල්ස් රිසර්ච් 2022 මාර්තු 15 දින 4Ever Skin Naturals (පුද්.) සමාගම සමග තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබී ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මෙවැනි තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ 4Ever Skin Naturals සමාගමේ නිර්මාතෘ සහ සභාපති චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.

    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට පමණක් නොව සමස්තයක් ලෙස මුළුමහත් ශ්‍රී ලංකාවටම වාණිජ වශයෙන් භාවිතා කළ හැකි බුද්ධිමය දේපළ නිර්මාණය කිරීම ජෝන් කීල්ස් රිසර්ච් ආයතනයේ අරමුණ වී තිබේ. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ජෝන් කීල්ස් රිසර්ච් හි ප්‍රධානී ආචාර්ය මුදිත සෙනරත් යාපා ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සංයුක්ත ද්‍රව්‍ය, බලශක්තිය ගබඩා කිරීම, ජෛව ද්‍රව්‍ය සහ මෙකට්‍රොනික්ස් (mechatronics) යන අංශ සම්බන්ධ පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන කටයුතු සිදුකරති.

    ශ්‍රී ලංකාවේ ශාකසාර මූලික කරගත් රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන 4Ever Skin Naturals (පුද්.) සමාගම මේ වනවිට ජනප්‍රිය නිෂ්පාදන වර්ග රාශියක් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දී ඇත.

    “නවෝත්පාදනය යනු අපගේ සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම ගුණාංග වලින් එකක්. මේ ඔස්සේ අපගේ සමාගම් සියල්ලෙහිම නිෂ්පාදන හා සේවාවන්ට නව වටිනාකම් එක්කිරීමට අප උත්සාහ කරනවා. නැනෝ තාක්ෂණය මගින් ලැබෙන ප්‍රතිලාභ එහි වර්තමාන සීමාවන් ඉක්මවා පුළුල් වනු ඇති බවත්, අද දවසේ මෙලෙස තාක්ෂණය හුවමාරු කරගැනීම මගින් අනාගතයේදී වෙළඳපොළට වඩාත් නිර්මාණශීලී හා තිරසාර නිෂ්පාදන හඳුන්වා දීමට හැකිවනු ඇති බවත් අපගේ විශ්වාසයයි.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසී ය.

    මෙම ගිවිසුම යටතේ, ජෝන් කීල්ස් රිසර්ච් ආයතනය සතු SilmeticTM තාක්ෂණය භාවිතා කරමින්, වැඩිදියුණු කළ ගුණාංග සහිත චර්ම සත්කාර නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට 4Ever කටයුතු කරනු ඇත. SilmeticTM තාක්ෂණය යනු ජෝන් කීල්ස් රිසර්ච් ආයතනය විසින් නිර්මාණය කරන ලද නැනෝ සිල්වර් සහිත රූපලාවණ්‍ය සහ ඖෂධීය රූපලාවණ්‍ය ආකලනයකි (Additive). නව නිෂ්පාදන එකතුව 4Ever උප-සන්නාමයක් වන DermaPRO යටතේ වෙළඳපොළට පැමිණෙනු ඇත.

    “නැනෝ සිල්වර් අනෙකුත් නැනෝ අංශු වලට වඩා වෙනස්. දශක ගණනාවක පටන් ඒවා පාරිභෝගික නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන වර්ග රැසක් සඳහා භාවිතා වෙනවා. ජෝන් කීල්ස් සමග එක්වී නැනෝ සිල්වර් නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම නිෂ්පාදන මහනුවර පල්ලේකැලේ කර්මාන්ත උද්‍යානයේ පිහිටා ඇති, ISO 9001: 2015, cosmetic GMP 22716: 2007, HACCP සහ ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රමිති සහතික හිමි අපගේ අති-නවීන කර්මාන්තශාලාවේදී ඉහළම සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ නිෂ්පාදනය වේවි.” 4Ever Skin Naturals සමාගමේ නිර්මාතෘ සහ සභාපති චාන්දනී බණ්ඩාර මහත්මිය පැවසුවා ය.

    නැනෝ තාක්‍ෂණය යනු හැඩය සහ ප්‍රමාණය නැනෝ මීටර පරිමාණයෙන් පාලනය කරමින් ද්‍රව්‍ය, උපාංග හා පද්ධති සැලසුම් කිරීම, ගුණාංගීකරණය, නිෂ්පාදනය සහ භාවිතය සිදුකරන නවීන විද්‍යාත්මක ක්ෂේත්‍රයකි. නැනෝ ද්‍රව්‍ය රූපලාවණ්‍ය සංයෝග සඳහා භාවිතා කිරීම මගින් චර්ම සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රාශියක් හිමි වේ. එමගින් අදාළ නිෂ්පාදන වයස්ගත වීම, සම රැළි වැටීම, ඉදිමුම් හා සමෙහි දැවිල්ල තත්වයන් සහ ක්ෂුද්‍රජීවී හානි ආදිය වැළැක්වීමේ හැකියාව සහිත, රෝගනාශක ගුණ සපිරි, උසස් නිමාවකින් යුත් නිෂ්පාදන බවට පත් කළ හැක.

    SilmeticTM යනු ද්‍රව්‍යමය අතින් මෙන්ම බලශක්ති භාවිතය අතින් අතිශයින් තිරසාර තාක්ෂණයකි. SilmeticTM කුඩා ප්‍රමාණයක් භාවිතා කිරීම මගින් දීර්ඝකාලීන යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වේ. මෙවැනි නවීන විද්‍යාත්මක සොයාගැනීම් ඔස්සේ මිනිස් ජීවිත වල ගුණාත්මක භාවය වැඩිදියුණු කරන අතරම, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ප්‍රවණතා පුළුල් කිරීමට දායක වීම ජෝන් කීල්ස් රිසර්ච් ආයතනයේ ඉලක්කයයි.

    ජෝන් කීල්ස් රිසර්ච් යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන අංශයයි.  ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක් පවතින, සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන, කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර, 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබාදෙන JKH ආයතනය වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසංදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්වය මුලපිරීම් හරහා ‘හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම’ පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින්ද ක්‍රියා කරයි.

    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ 4Ever Skin Naturals සමාගමේ සභාපති චාන්දනී බණ්ඩාර මහත්මිය, ජෝන් කීල්ස් රිසර්ච් සතු SILMETICTM තාක්ෂණය සඳහා වන තාක්ෂණ හුවමාරු ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව

     

    ඡායාරූපය 1: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ 4Ever Skin Naturals සමාගමේ සභාපති චාන්දනී බණ්ඩාර මහත්මිය

    පසුපස, වමේ සිට: ජෝන් කීල්ස් රිසර්ච් හි බුද්ධිමය දේපළ, තාක්ෂණ ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චතුරි යටවර, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සහකාර කළමනාකාරිනී (සමූහ නීති) ෂෙහාරා ගුණසේකර, ජෝන් කීල්ස් රිසර්ච් ප්‍රධානී ආචාර්ය මුදිත සෙනරත් යාපා, ජෝන් කීල්ස් සමූහයේ නියෝජ්‍ය සමූහාධිපති සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ, එම සමූහයේ සමූහාධිපති (පාරිභෝගික ආහාර නිෂ්පාදන) දමින්ද ගම්ලත්, 4Ever Skin Naturals සමාගමේ නීති උපදේශිකා කාංචනා සේනානායක, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් ලියනගමගේ සහ විකුණුම් හා අලෙවි ප්‍රධානී වෙනුර කෝරළගමගේ යන මහත්ම මහත්මීන්