ටොන් 20 ක ලංකාවේ කාසි දඹදිව හිරවෙලා. ගේන්න නැවක් -video

    July, 21, 2014

    දඹදිව වන්දනාවේ යාමේදී එරට සිද්ධස්ථානවල පිං කැට වලට මෙරට කාසි නොදමන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

    දඹදිව සිද්ධස්ථානවල පිං කැට වලට දැමූ ලංකාවේ කාසි ටොන් 20 ක් පමණ මේ වනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බවත් අමතර වියදමක් දරමින් ඒවා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් කබ්රාල් මහතා අප සමග පැවසීය.

    සාමාන්‍යයෙන් වසරකට ලාංකිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දඹදිව වන්දනාවේ යන අතර ඔවුන් ලංකාවේ සිද්ධස්ථාන වලට වගේම දඹදිව සිද්ධස්ථාන වලටත් ලංකාවේ කාසි පූජා කිරීම සිදුකරයි.

    මේ ආකාරයෙන් මෙම බැතිමතුන් පූජාකළ කාසි ගෝනිවල දමා පැත්තකට දමා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළධාරීන් පිරිසක් දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවක දැක තිබේ.

    මෙම කාසි ඉන්දීය මුදල් වලට මාරු කිරීමට වැඩි කාලයක් ගතවන නිසා මේ ආකාරයෙන් ඔවුන් ඒවා පැත්තකට විසිකිරීමට හේතුවී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ අළුතින් කාසි අච්චු ගැසීමට යන වියදම සැලකූ විට එම කාසි තොගය ලංකාවට ගෙන්වා ගැනීම ලාභදායී බවයි.

    කෙසේවෙතත්, මෙම කාසි තොගය වෙනුවෙන් මෙම සිද්ධස්ථාන වලට මුදල් ලබාදීමට ලංකාවට සිදුවන අතර කාසි තොගය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ඉන්දියාවේ සිටින ලංකාවේ මහ කොමසාරිස්වරයා මේ වනවිට මැදිහත් වී තිබේ.

    කෝටි ගණනක් වටිනා මෙම කාසි තොගය ලංකාවට ගෙන ඒමට නැවක් හෝ ගුවන් යානයක් වෙන්කර ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ නිසා, විදේශීය සිද්ධස්ථාන වලට ලංකාවේ කාසි නොදමන්නැයි මෙරට බැතිමතුන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කරයි.