ඩාලි පාරේ දැවැන්ත ව්‍යාපෘතියක්. ඩොලර් මිලියන 70 ක ආයෝජනයකින් එක්සෙල් වර්ල්ඩ් අලුත් වෙයි

    September, 3, 2018

    කොළඹ 10 ටී බී ඡයා මාවතේ පිටිහිි එක්සෙල් වර්ල්ඩ් විනෝද උද්‍යානය නවීකරණය කිරීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී තීරණය කර තිබේ.

    මේ අනුව නවීනතම මහල් නිවාස සංකීර්ණයක්, දැවැන්ත සාප්පු සංකීර්ණයක් හා විනෝද උද්‍යානයක් එහි ඉදිවීමට නියමිතය.

    මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70 කි.

    හොංකොං හි ආයෝජන සමාගමක් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබේ.

    මෙහි දෙවන අදියර වශයෙන් මෙම භූමි භාගයේ ම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

    මේ බව අනාවරණය කරමින් එළඹෙන මූල්‍ය වර්ෂය තුළ දී මෙම ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සිය නවතම වාර්ෂික වාර්තාව මගින් ප්‍රකාශ කර සිටී.

    කොළඹ නගරය තුළ පිහිටි පූර්ණ පහසුකම්වලින් යුතු එකම විනෝද උද්‍යානය ලෙසින් එක්සෙල් වර්ල්ඩ් සැලකේ.

    මෙය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි.