ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ

    July, 10, 2026

    දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් එළඹෙන 2026 ජූලි 15 සිට 19 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම සුවිශේෂී වැඩසටහන මඩකලපුව, ත්‍රිකුණාමලය පාරේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර තෝරාගත් තවත් විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් නගරයේ වෙනත් ස්ථානවල ද සංවිධානය කර තිබේ.

    ප්‍රජාව සාර්ථකව සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම සමස්ත වැඩසටහන මගින් ව්‍යවසායකත්වය දිරිගැන්වීම, මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම, වෘත්තීය හා තාක්ෂණික කුසලතා නංවාලීම, පාසල් සහ විශ්වවිද්‍යාල සහයෝගිතා ව්‍යාපෘති, කාන්තා හා තරුණ ප්‍රජාව නගාසිටුවීම මෙන්ම ප්‍රජා සහභාගිත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවනු ලබයි.

    මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරක මුලපිරීමේ ප්‍රධානතම ආකර්ෂණය වන්නේ ජූලි 15 සිට 19 දක්වා දින පහක් පුරා DPMC භූමියේදී මහජනතාව සඳහා විවෘතව පැවැත්වෙන දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනයයි. එහිදී ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, ඇසට්ලයින් ෆිනෑන්ස්, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි, ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි, ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්, ඩේවිඩ් පීරිස් ලෙෂර් සහ ඩේවිඩ් පීරිස් ඒවියේෂන් යන සමාගම් රැසක නිෂ්පාදන, සේවා, ටෙස්ට් ඩ්‍රයිව් සහ සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රැසක් අත්විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.

    වැඩසටහන ආරම්භ වන ජූලි 15 වනදා, කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන් ස්වයං රැකියා අවස්ථා සඳහා දිරිගැන්වීම අරමුණු කරගනිමින් රූපලාවන්‍ය හා පුද්ගලික සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දෙන "කාන්තා රූපලාවන්‍ය හා පුද්ගලික සත්කාරක කුසලතා සංවර්ධන වැඩසටහනක් පැවැත්වේ. එදිනම (ජූලි 15) East Lagoon හෝටලයේදී ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ද පැවැත්වීමට නියමිත අතර, එමගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් පිවිසීමට අපේක්ෂා කරන පිරිස්වලට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර ශක්තිමත් කරමින් පුළුල් කර ගැනීමට අවශ්‍ය වටිනා දැනුම සහ ප්‍රායෝගික මගපෙන්වීම් ලබාදේ.

    ජූලි 16 වනදා මාර්ග ආරක්ෂණ වැඩසටහනක් පැවැත්වෙන අතර, එහි අරමුණ වන්නේ සිසු දරුවන් තුළ වගකීම් සහගත මාර්ග හැසිරීම් සහ ආරක්ෂිත ප්‍රවාහන පුරුදු ඇති කිරීමයි.

    ජූලි 18 වනදා  ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ආරක්ෂිත සහ වගකීම් සහගත රිය පැදවීම පිළිබඳ මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙන අතර ප්‍රදේශයේ ගරාජ් හිමියන් සහ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා සහ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා තාක්ෂණික දැනුම හා ප්‍රායෝගික මගපෙන්වීමේ වැඩසටහනක්ද පැවැත්වේ.

    වැඩසටහනේ අවසන් දිනය වන ජූලි 19 වනදා ප්‍රජා සහභාගිත්වය, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම වෙනුවෙන් කල්ලාඩි, නව කල්මුණේ පාරේ පිහිටි සිවානන්ද පාසල් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් ද, වලච්චේනෙයි KV ක්‍රීඩාංගණයේදී පාපන්දු තරගාවලියක් ද සංවිධානය කර ඇත. මීට සමගාමීව DPMC ඩීලර්වරුන්ගේ තාක්ෂණික නිපුණතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රික පුහුණු වැඩසටහනක්  පවත්වනු ලබයි.

    මෙම ප්‍රධාන වැඩසටහන්වලට අමතරව, පාසල් සංවර්ධන වැඩසටහන්, විශ්වවිද්‍යාල සීමාවාසික පුහුණු සවිබල ගැන්වීමේ වැඩසටහන් තෝරාගත් පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන්, Bajaj සහ KTM වාහන සඳහා වන වායු විමෝචන සහ වාහන තත්ත්ව පරීක්ෂා වැඩසටහන් මෙන්ම හරිත තිරසාර සංවර්ධන වැඩසටහනක්ද මෙම දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    හුදෙක් ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, මිනිසුන්, කුසලතා සහ ප්‍රජාවන් වෙනුවෙන් ආයෝජනය කරමින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දැක්මයි. මෙවැනි අර්ථවත් සහ ප්‍රබල බලපෑමක් ඇති කරන මුලපිරීම් හරහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමාජීය හා ආර්ථික සංවර්ධනයට දායක වෙමින්, රට පුරා වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සමූහ ව්‍යාපාරය අඛණ්ඩව කැපවී සිටියි.