April, 25, 2018
මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (2018 අප්‍රේල් 24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.

ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ කෙටිකාලීනව ඇතිකරන ආර්ථික බලපෑම් කිහිපයකි. එනම්,
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන ඇඟළුම්, තේ ආදියට ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම අපට තීරණය කළ හැකි කරුණක් නොවේ. වැඩි වටිනාකමක් ලැබුණු පමණින් අපනයන පරිමාව ඉහළ දැමීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැත.
අනෙක් අතට ඉහළ විදේශ විනිමයක් ලැබෙන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ද පවතින්නේ අනම්‍ය මට්ටමකය.
නමුත් මිල වැඩිවීම හේතුවෙන් ආනයනික ඉන්ධන වැනි භාණ්ඩ අධෛර්යයමත් කිරීමට හැකියාවක් නොමැත. ඒ ඒවා අනිවාර්යයෙන් මිල දී ගත යුතු තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවිනි. මේ අනුව ප්‍රධාන වශයෙන් ඉන්ධන ඇතුළු ආනයනික භාණ්ඩ වෙනුවෙන් දැරිය යුතු රුපියල් අගය ඉහළ යාම නොවැළැක්විය හැකි තත්ත්වයකි.
මෙහිදී ප්‍රධාන වශයෙන් බලපාන කරුණ නම් විදේශ ණය බර දේශීය මුදලින් ඉහළ යාමයි. 2017 තෙවන කාර්තුව අවසානයේ දී ඩොලර් මිලියන 10,269.1 ක් වශයෙන් සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය වාර්තා වී තිබේ. මෙයින් ඩොලර් මිලියන 4,638.3 ක් වාර්තා වෙන්නේ විදේශීය ණය වශයෙනි. ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වන ප්‍රතිශතයෙන්ම විදේශීය ණය ප්‍රමාණයෙහි රුපියල් අගය ද ඉහළ යාම මෙහිදී සිදුවනු ඇත.
අනෙක් අතට මෙම තත්ත්වය තුළ විදෙස් ආයෝජන අධෛර්යයමත් වීමක් ද අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතුය. මක් නිසාද යත් කොටස් වෙළෙඳපොළ වැනි ආයෝජන මාර්ගයයක ඩොලර්වලින් සිදුකරන ආයෝජනයක දී ලබන රුපියල් ප්‍රතිලාභය සඳහා විනිමය අවප්‍රමාණය වීමේ අලාභය ද ගැළපිය යුතු බැවිනි. එහිදී විදෙස් ආයෝජකයින් නිරන්තරයෙන් ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම අවම විනිමය ගැළපුම් අලාභයක් ඇති වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරලීම නිරන්තරයෙන් දැකිය හැකි වනු ඇත.
එක්සත් ජනපද ඩොලර් සඳහා වන රුපියල් අගය තීරණය වනුයේ සාමාන්‍ය ඉල්ලුම් හා සැපයුම් බලවේග අනුවය. සරලව ගතහොත් ඩොලර් සඳහා ඉල්ලුමක් ඇතිවනුයේ ඩොලර්වලින් ගෙවීම් කිරීමට සිදුවන අවස්ථාවල දීය. රටක් සතු ඩොලර් සංචිතය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී නම් එහිදී ඩොලර් හමුවේ එම රටෙහි මුදල් ඒකකය ශක්තිමත් වනු ඇත.
ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ඩොලර් ගලා එන ක්‍රම කිහිපයකි. අපනයන සඳහා ලැබීම්, විදේශ ආයෝජන, විදේශ ණය හා ප්‍රදාන, සංචාරක ඉපයීම් හා විදේශ සේවා නියුක්තියකයින්ගේ ප්‍රේෂණ ඒ අතර ප්‍රධාන වේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ඩොලර් එන ප්‍රමාණයට වඩා රටෙන් ඉවතට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමෙනි. භාණ්ඩ හා සේවා මෙරටට ආනයනය කිරීම, විදේශ ණය ගෙවීම්, මෙරට ඇති විදේශ ආයෝජන ආපසු ඉවත් කර ගැනීම, විදේශයන් හි ආයෝජන සිදුකිරීම, විදේශයන්ගෙන් ලබා ගත් නිෂ්පාදන සාධක සඳහා ලාභ, පොළී හා වැටුප් වැනි ගෙවීම් සිදුකිරීමට සිදුවීම, විදේශයන් වෙත ආධාර හෝ ප්‍රේෂණ ලබාදීම යනාදී දෑ වෙනුවෙන් ගෙවීම් කිරීමට රටක් සතුව ඩොලර් තිබිය යුතුය.
මෙම සංරචක දෙක අතර පවතින පරතරය අවම කිරීමට රටක් මූල්‍ය අධිකාරිය නිරන්තරයෙන් උත්සාහ ගනී. වෙළෙඳපොළ බලවේග අනුව විනිමය අනුපාත තීරණය වීමට ඉඩනොදී රජය/ මහ බැංකුව විසින් විනිමය අනුපාතය නියම කොට පාලනය කරන අවස්ථාවක අදාල අධිකාරීන් විසින් විනිමය අනුපාතය කලින් කලට වෙනස් කරනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 ජනවාරි මාසය තුළ දී අපනයන ආදායම ඩොලර් මිලියන 965 ක් වන අතර ආනයන වියදම ඩොලර් මිලියන 2,014 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී 2017 ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී අපනයන ආදායම 11.6% කින් ඉහළ ගොස් ඇතත් ආනයන වියදම ඊට වඩා වැඩි වේගයකින් එනම් 12% කින් වර්ධනය වී ඇත.

සමස්තයක් වශයෙන් ගත් කල, දේශීය රුපියලට වඩා ඩොලර් වටිනාකම ඉහළ යාම කෙරෙහි සතුටු වන පාර්ශවයක් වේ නම් ඔවුන් අපනයනකරුවන්ය. ඒ තම අපනයන සඳහා ලැබෙන ඩොලර් විටිනාකම එකම වුවද එය දේශීය රුපියල්වලින් ඉහළ අගයයක් ගන්නා බැවිනි. කෙසේ වෙතත් 2018 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව වැඩිවශයෙන් අපනයන ආදායමක් ලබන රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ 2% කිනි. එසේම කෘෂිකාර්මික අපනයන ආදායම වැඩි වී ඇත්තේ 5.4% කිනි. එයින් ද තේ අපනයන ආදායම 10.1% කින් වැඩි වී ඇතත්, රබර් අපනයන ආදායම 19.2% කින්, පොල් අපනයන ආදායම 22.5% කින් පහළ ගොස් ඇත. මේ අනුව ඩොලරයක වටිනාකම වැඩි වූවා යැයි කියා එහි වාසිය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත්තේ ප්‍රමාණවත් පරිදි අපනයන ආදායම වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බැවිනි. 2018 ජනවාරි මාසයේ මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 965.4 ක් වන අතර එය 11.6% ක ඉහළ යාමකි.
ආනයන වියදම සලකා බැලූ කල, 2018 ජනවාරි මාසයේ දී බොරතෙල් ආනයන වියදම 146.6% කින් ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. මෙම මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 23% කින් ද, අන්තර් භාණ්ඩ ආනයන වියදම 19.2% කින්ද වැඩි වී තිබේ. මේ අනුව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට සිදුව ඇති ඩොලර්වලින් ගෙවීම් ඉහළ ගොස් ඇති බවයි.
Video Story