වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන Spark 18 නව නිර්මාණ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනයේ සමාරම්භක අවස්ථාවට (27) එක් වෙමින් සිසුන් සමග පැවැති සාකච්ඡාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;
“පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ නව නිර්මාණ අදහස් සඳහා ඇත්තේ ඉතාම අඩු ඉඩක්. හැම දරුවෙක් ම විශ්වවිද්‍යාලයට යන තුරුම වහල්ලු වගේ අධ්‍යාපනය ලබනවා. කිසිම නව සිතිවිල්ලකට ඉඩක් නෑ. රාමුවෙන් පිට හිතන්න ඒ තුළ අවස්ථාවක් නෑ. ඒක තමයි අපි මුහුණ දීල ඉන්න ලොකුම ගැටලුව. නමුත් ලංකාව කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් දැනුමෙන් පිරිපුන් මිනිසුන් බිහි කරපු රටක්. නාසා ආයතනයේ පමණක් ශ්‍රී ලාංකීය විද්‍යාඥයො 16ක් ඉන්නවා. ඒ නිසා වැදගත්ම දේ තමයි විදේශගත වෙලා අධ්‍යාපනය ලැබුවත් තමන්ගෙ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අමතක නොකිරීම.
එදා අපට පසුපසින් සිටි සිංගප්පූරුව, ඉන්දියාව, කොරියාව වගේ රටවල් අද ලෝකය ජයගෙන තිබෙනවා. එදා පංතියේ හිටපු දීප්තිමත් ම ශිෂ්‍යයා වුණ ශ්‍රී ලංකාව අද පස්සට ම ගිහිල්ලා. එදා කලාපයේ ඉදිරියෙන් ම තිබුණ රට අද පසුපසින් ම තිබෙන රටක් බවට පත් වුණේ අපේ බෙදී වෙන්වීම් නිසා. නිදහස ලබා ගන්න ජාති ආගම් කුල පන්ති බේද පසෙක දමා කටයුතු කරපු අපි නිදහස ගත්තට පස්සෙ වෙන් වුණා. සිංගප්පූරුවෙ ජාතින් ගණනාවක් ජීවත් වුණා. නමුත් ඔවුන්ට හැකි වුණා එක ජාතියක් නිර්මාණය කරගන්න. නමුත් තවමත් අපට බැරි වෙලා තියෙනවා ශ්‍රී ලාංකීය අනන්‍යතාව හදා ගන්න. උතුරේ විශාල යුද්ධයක් ඇති වුණා. දකුණේ කැරලි දෙකක් ඇති වුණා. පක්ෂ පාට මොනව වුණත් මේ නැති වුණේ ශ්‍රී ලාංකීය ජනතාව. මේ නිසා අපට ආර්ථිකය හදාගන්න බැරි වුණා, අධ්‍යාපනය හදා ගන්න බැරි වුණා.”
සිසුවකු විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩි දුරටත් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“ඩොලරය ශක්තිමත්වීම අපට පමණක් නෙවෙයි සමස්ත ලෝක ආර්ථියකට ම බලපාල තියෙන තත්ත්වයක්. ශ්‍රී ලංකාව රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නෙ 8%ක වගේ ප්‍රතිශතයකින්. මේකට විසඳුම බලහත්කාරයෙන් රුපියල ශක්තිමත් කිරීම නෙවෙයි. මේ මගින් අවධාරණය කෙරෙන්නෙ ශ්‍රී ලංකාව අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් කරා යාමේ අවශ්‍යතාව” යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහි දී අමාත්‍යවරයා දකුණු ආසියාවේ පාසල් දරුවන් විසින් ආරම්භ කළ පළමු රූපවාහිනී නාලිකාව වන TV Royal නාලිකාවේ විකාශන කටයුතු ද නිල වශයෙන් ආරම්භ කළේ ය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් වූහ.
News.lk










































































































































