ඩොලර් අතේ තියාගන්නේ බලාගෙනයි. මහ බැංකුවෙන් පැනවූ අලුත් නීති මෙන්න

    May, 19, 2022

    ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (19) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර එසේ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි ඩොලර් නෝට්ටු තම සන්තකයේ ඇත්නම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දෙන බව අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    මේ අනුව යම් පුද්ගලයෙකු සන්තකයේ ඩොලර් 10,000 ක විදෙස් නෝට්ටු ප්‍රමාණයක් තිබුණ ද ඔහු/ඇය ඒවා උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට බැඳී සිටිනු ඇත. එසේ නැතහොත් විදේශ විනිමය පනත ප්‍රකාරව ඔහු/ඇය දන්ඩණයකට ලක් කළ හැකිවේ.

    පවතින නීතිය අනුව කුමන ආකාරයකින් හෝ ඩොලර් 15,000 කට වඩා වැඩි ප්‍රමාණයක විදෙස් මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම නීති විරෝධී වනු ඇත.