ඩොලර් බිලියන 6.6 දක්වා සංචිත වටිනාකම ඉහළට

    September, 29, 2016

    ආනයන වියදම් පහළ යෑමට වඩා ඉහළ අගයකින් අපනයන ආදායම අඩු වීම හේතුවෙන්, 2016 වසරේ පළමු මාස හත තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 0.7 කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මෙහිදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරමින් වසරේ පළමු මාස අට තුළ දී සංචාරක ඉපැයීම් 16% කින් ඉහළ ගිය අතර, 2016 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණ 4.5% කින් ඉහළ ගොස් ඇත.

    ජාත්‍යන්තර අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමත් සමඟ ඉහළ නැංවුණු විශ්වාසයට අමතරව, රජයේ සුරැකුම්පත්වල කරන ලද විදේශ ආයෝජන ඉහළ යෑම මෙන්ම රජය වෙත වෙනත් මූල්‍ය ප්‍රවාහ දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළෙහි ස්ථායිතාවට උපකාරී විය.

    මෙම ප්‍රවණතා පිළිබිඹු කරමින් 2016 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6 ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2016 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

    2016 සැප්තැම්බර් මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු අනාවරණය කර ඇත.