ඩොලර් මලු හොලවන බැංකු ඒකාබද්ධ කිරීමේ ඇතුළු පැත්ත

    February, 8, 2014

     

    බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ව්‍යායාමයක ශ්‍රී ලංකා මහ බැංකුව යෙදී සිටින බව මුළු රටම මේ වනවිට දනී. මෙවැනි ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි ? පවතින ක්‍රමයේ අඩුපාඩු තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න අපගේ සිතට නිතැතින්ම ඇතිවේ.

    මෙම ප්‍රශ්න වලට හොඳ උත්තරයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී පැවති බැංකු අධ්‍යක්ෂවරුන්ගේ සමුළුවකදී ලබාදුන්නේය. මෙම සමුළුවේදී අධිපතිවරයා පැවසුවේ අනාගත මූල්‍ය අභියෝග ජයගැනීම සඳහා ලංකාවට ශක්තිමත් මූල්‍යායතන අවශ්‍යව තිබෙන බවයි. එවැනි ශක්තිමත් මූල්‍යායතන බිහිකිරීමේ අරමුණ මෙම ක්‍රියාදාමය පිටුපස තිබෙන අරමුණක් බව මේ අනුව පැහැදිලිය.

     ශක්තිමත් මූල්‍යායතන අවශ්‍ය වන්නේ ඇයි ?

     ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී විනිමය පාලන නීති ලිහිල් කිරීමට කටයුතු කළේය. මේ යටතේ පුද්ගලික අංශයට විදේශීය වෙළඳ පොළට ගොස් ණය රැස්කර ගැනීමේ අවස්ථාවද ලබාදී තිබේ. මේ වනවිටත් මෙරට බැංකු ජාත්‍යන්තර වෙළඳ පොළින් ණය රැස්කරගෙන තිබෙන අතර තවත් බැංකු කිහිපයක්ම ජාත්‍යන්තර වෙළඳ පොළින් අරමුදල් රැස්කර ගැනීමට දත මදිමින් සිටී.

    මේ ආකාරයෙන් ජාත්‍යන්තර වෙළඳ පොළින් ණය ලබාගැනීමේදී ආයෝජක විශ්වාසය දිනා ගැනීමට ශක්තිමත් මූල්‍යායතන තිබීම අවශ්‍යම කාරණාවකි. උදාහරණයක් ලෙස චීනයේ සමහර බැංකු අපේ බැංකු පද්ධතිය තරම්ම විශාලය. මේ නිසා, කුඩා මූල්‍ය සමාගම් බැංකු සමග ඒකාබද්ධ කිරීම මගින් ජාත්‍යන්තර වෙළඳ පොළට පිවිසිය හැකි ශක්තිමත් බැංකු ඇතිකර ගැනීමේ හැකියාව අපට ලැබේ.

    මෙම සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ විදේශීය වෙළඳ පොළින් අරමුදල් රැස් කරන්නේ කෙසේදැයි බැංකුවල ප්‍රධානීන් විසින් මේ වනවිට සලකා බැලිය යුතු බවයි.

     මෙරට බැංකුවල වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 10 කට නැංවීම

     තවත් වැදගත් කාරණාවක් වන්නේ මෙරට බැංකුවල වත්කම් පදනම ඩොලර් බිලියන 100 ක් හෙවත් රුපියල් ට්‍රිලියන 10 ක් දක්වා 2016 වසර වනවිට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉලක්ක කර තිබීමයි. මෙම ඉලක්කයට යෑම සඳහා මූල්‍යායතන හා බැංකු ඒකාබද්ධ කරමින් ශක්තිමත් බැංකු ඇති කරමින් ජාත්‍යන්තර වෙළඳ පොළින් තව තවත් අරමුදල් රැස්කර ගැනීමට සිදුවේ.

    මේ වනවිට මෙරට බැංකුවල වත්කම් පදනම ඩොලර් බිලියන 60 ක් හෙවත් රුපියල් ට්‍රිලියන 06 කි. 2012 වසරේදී මෙරට බැංකු විසින් ඩොලර් බිලියන 01 ක්ද, 2013 වසරේදී ඩොලර් බිලියන 1.5 ක් පමණද අරමුදල් ජාත්‍යන්තර වෙළඳ පොළින් රැස්කර ගෙන ඇත.

    සේවක කප්පාදුවක් හෝ තැන්පතු වලට ප්‍රශ්නයක් නෑ

     මහ බැංකුව පවසන්නේ මෙම ඒකාබද්ධ කිරීම නිසා සේවක කප්පාදුවක් හෝ මහජනතාවගේ තැන්පතු වලට කිසිදු ප්‍රශ්නයක් නොවන බවයි.

    මේ අනුව, මූල්‍ය සමාගමක් තවත් සමාගමක් හෝ බැංකුවක් සමග ඒකාබද්ධ කිරීමේදී එම සමාගමේ සිටින සියළුම සේවකයින් අනිකුත් සමාගමේ සේවකයින් ලෙස බඳවාගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. සමහර මූල්‍යායතනවල අක්‍රීය ණය වර්ධනය වෙමින් තිබීමටද මෙම ඒකාබද්ධ කිරීම මගින් විසඳුමක් ලැබේ.