ණයපත් පොලී අසාධාරණ බැංකු වලට වැඩ වරදින හැඩ

    October, 21, 2014

    ශ්‍රී ලංකාවේ මේ වනවිට ණය පොලී අනුපාත තිබෙන්නේ වාර්තාගත පහළම තත්ත්වයේ වුවද ණයපත් (Credit cards) වලට සමහර බැංකු විසින් තවමත් දැවැන්ත පොලී අනුපාත අසාධාරණ අයුරින් අයකරන බව නොරහසකි.

    අප කළ සමීක්ෂණයෙන් අනාවරණය වූයේ සමහර බැංකු විසින් තවමත් ණයපත් සඳහා සියයට 24 ක් තරම් ඉහළ පොලී අනුපාත ගනුදෙනු කරුවන්ගෙන් අයකරමින් සිටින බවයි.

    ණයපත් පොලී අනුපාත තවදුරටත් අඩුකිරීමට බැරිද ?

    නිවාස ණය පොලී අනුපාත තරමටම ණයපත් වල පොලී අනුපාත අඩුකිරීමට නොහැකිය. එසේ වන්නේ ගනුදෙනු කරුවන්ට අවශ්‍ය නම් දින 45 ක් දක්වා කිසිදු පොලියක් නොමැතිව ණයපත් භාවිතා කිරීමට හැකි වීමයි. නිසි පරිදි මුදල් පියවන්නේ නම් දින 45 ක් දක්වා ණයපත් සඳහා පොලී අනුපාතයක් නොමැත. මේ නිසා, ණයපත් තුළින් ලබාදෙන මුදල් සඳහා බැංකුවට ඉහළ පිරිවැයක් තිබේ.

    මේ නිසා, ඕනෑම රටක ණයපත් සඳහා අයකරන පොලී අනුපාතය නිවාස ණය සහ අනිකුත් ණය සඳහා අයකරන පොලී අනුපාත වලට වඩා වැඩිය.

    නමුත්, මෙරට ඇතැම් බැංකු විසින් ණයපත් සඳහා සියයට 24 ක් තරම් ඉහළ පොලී අනුපාතයක් පවතින පොලී වාතාවරණය මත අයකිරීම අසාධාරණයකි.
    අප සමග අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂකයෙකු පැවසුවේ නිවාස ණය පොලිය සියයට 11 ක් තරම් මට්ටමක තිබෙන මේ අවස්ථාවේදී ණයපත් සඳහා සියයට 16 ක මට්ටමේ පොලියක් බැංකු වලට අය කිරීම කළ හැකි බවයි.

    මේ වනවිටත්, ඇතැම් බැංකු විසින් සියයට 16 ක පොලී අනුපාතයට ණයපත් නිකුත් කිරීම සිදුකරන නිසා වැඩි පොලී අනුපාතයක් අයකරන බැංකු වලට නුදුරේදීම එම මට්ටමට ණයපත්වල පොලී අනුපාත අඩුකිරීමට සිදුවනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    නොමැති නම් වැඩි පොලියක් අයකරන බැංකුවල ණයපත් ව්‍යාපාරික කටයුතු අඩාලවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමමින් මෙරට පොලී අනුපාත පහළ දැමීමට කටයුතු කළ අතර වාණිජ බැංකු වලට තවදුරටත් පොලී අනුපාත අඩුකිරීමේ හැකියාවක් ඇතැයි මහ බැංකුව සඳහන් කර ඇත.