ණය ගැනීම වැඩිවෙද්දී, මහ බැංකුව අළුත්ම පොලී තීරණය දැනුම් දෙයි

    November, 18, 2014

    වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ නොවැම්බර් මාසයේදී වෙනස් නොකිරීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා පවතින ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගත්බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මේ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත නොවැම්බර් මාසයේදී සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යයි.

    බැංකුව පවසා තිබෙන්නේ 2009 නොවැම්බර් මාසයෙන් පසුව මෙරට උද්ධමනය අඩුම අගය දක්වා පහළ ගොස් තිබෙන බවයි. ගෙවුණු ඔක්තෝම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 1.6 ක් දක්වා පහළ වැටුණු අතර සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 3.5 ක් විය.

    බැංකුව පවසා තිබෙන්නේ උද්ධමනය ඉදිරියේදී අඩු අගයක පවතිනු ඇතැයි උපකල්පනය කරන බවයි.

    මේ වසරේ මුල් මාස 09 තුළදී රාජ්‍ය අංශය බැංකු වලින් ලබාගත් ශුද්ධ ණය රුපියල් බිලියන 87.3 කින් වැඩිවෙද්දී රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1.2 කින් අඩුවී තිබීම කැපී පෙනේ.

    මේ අතර, මෙම කාලයේදී බැංකුවල ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයද රුපියල් බිලියන 225.9 කින් වර්ධනය වී ඇත.

    මේ වනවිට, බැංකු පොලී අනුපාත අඩු මට්ටමක තිබෙන හෙයින් පුද්ගලික අංශය බැංකු වලින් ලබාගන්නා ණය වර්ධනය වී තිබේ.

    මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ සැප්තැම්බර් මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 52.3 කින් වර්ධනය වී තිබෙන බවයි.