ණය නොගෙන ණය වැඩි වුණේ මෙහෙමයි

    August, 24, 2022

    2022 අප්‍රේල් මාසය වන විට මෙරට සමස්ත ණය තොගය රු. බිලියන 23,310 ඉක්මවා ගොස් තිබෙන අතර එය 2021 වසර අවසානයේ දී දැක්වුණේ රු. බිලියන 17,589.4 ක් ලෙසයි. ඒ අනුව 2022 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් මෙරට සමස්ත ණය ප්‍රමාණය 32.5% කින් ඉහළ ගොස් ඇත. ඊට පෙර වසර එනම් 2021 සමස්ත වර්ෂයටම මුළු ණයෙහි වැඩිවීම 16.4%කි.

    මෙම සංඛ්‍යා දත්තවලට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද රුපියල් මිලයනයේ සීමාව ඉක්මවා ගොස් ඇත.

    මෙසේ වූයේ ඇයි?

    මෙරට සමස්ත ණය ඉහත කී ආකාරයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අදාල මාස 04 තුළ සමස්ත විදේශීය ණය 67.4% කින් ඉහළ යාමයි. මෙය හුදෙක් අලුත් ණය ගැනීම් නිසා සිදුවූවක් නොවේ.

    එතෙක් ස්ථාවර විනිමය අනුපාතික ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව 2022 මාර්තු මාසයේ දී රුපියලේ අගය පාවෙන්නට හැරීමත් සමඟ විදෙස් මුදලින් නම් කර තිබූ ණය තොගයේ රුපියල් වටිනාකම ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය“ ග්‍රන්ථයෙහි, විනිමය අනුපාත අවප්‍රමාණයක දී විදේශ ණය බර සම්බන්ධයෙන් සිදුකෙරෙන බලපෑම පිළිබඳව මෙසේ දක්වා ඇත.

    “විදේශ ණය සාමාන්‍යයෙන් අදාළ ණය දෙන රටවල් සමඟ විදේශ මුදලින් ගෙන ඇත. එබැවින්, පොලිය සහ ණය වාරික විදේශ මුදලින් ගෙවිය යුතුය. අවප්‍රමාණයක දී විදේශ ණය ගෙවීමට අවශ්‍ය දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යන බැවින් ණය බර දේශීය මුදලින් තවත් ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාවේ ඩොලර්වලින් ගෙවිය යුතු රජයේ විදේශ ණය ප්‍රමාණය 2012 අවසානයේ දී මුළු විදේශ ණයවලින් 57% ක පමණ ඉහළ මට්ටමක පැවතිනි. ඇස්තමේන්තු අනුව විනිමය අනුපාතය රුපියල් 1කින් අවප්‍රමාණය වුවහොත් මුළු විදේශ ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් බිලියන 13කින් පමණ ඉහළ යනු ඇත. එසේම, පවතින වසරේ ණය ගෙවීම රුපියල් බිලියන 1.6කින් ඉහළ යනු ඇත. එවිට, අයවැය හිඟය සහ බදු තවත් වැඩිවනු ඇත. මෙය අවප්‍රමාණයක ඇති ඉතා අයහපත් ප්‍රතිඵලයකි.“

    PublicFinance.lk වෙබ් අඩවිය දක්වන පරිදි විදේශ ණය මුළු රාජ්‍ය ණයෙහි ප්‍රතිශතයක් ලෙස 2021 අවසානයේ 37% සිට 2022 පළමු කාර්තුවේදී 47% දක්වා වැඩි වී තිබේ.

    2022 මාර්තු මාසයේ දී විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමෙන් පසු 2022 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා රටේ විදේශ ණයවල රුපියලේ අගය 68% කින් වැඩි වී ඇති බවත් මෙය සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවත් PublicFinance.lk වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර 2022 ජනවාරි මාසයේ දී විදේශීය ණය තොගයේ පහළ යාමක් 2021 දෙසැම්බර් මාසයට සාපේක්ෂව වාර්තා වන අතර ජනවාරි මාසය තුළ කල් පිරුනු ස්වෛරී බැඳුම්කරයක් සඳහා ඩොලර් මිලියන 500 ක මුදලක් ආපසු ගෙවීම මීට හේතු වී තිබිණ.

    2021 දෙසැම්බර් සිට 2022 අප්‍රේල් දක්වා එක් එක් මාසය තුළ දී දෙස් විදෙස් ණය ඉහළ ගිය අයුරු පහතින් දැක්වේ.