ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන ආයෝජකයින් සමඟ සාකච්ඡා අවශ්‍ය නැහැ – මහ බැංකුව

    February, 9, 2022

    ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කිරීම

    ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට මෑතක දී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. එවැනි ප්‍රකාශ පදනම් රහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිල දත්ත තිබියදීත් මෙම වාර්තාවල පැහැදිලිවම සාවද්‍ය වන කරුණු අඩංගු වීම කණගාටුවට කරුණකි. එබැවින් සියලු ඉදිරි ණය වගකීම් පියවීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවාකරණ ගෙවීම් වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කැප වී සිටින බවට දේශීය සහ විදේශීය ආයෝජක ප්‍රජාව සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වේ.

    2022 වසරේ ජනවාරි මාසයේ දී කල් පිරුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථක ලෙස පියවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එවැනි පියවීමක් කළ නොහැකි වනු ඇති බවට සමහර පාර්ශවයන් අතර සෘණාත්මක අනුමාන කිරීම් තිබියදීය. 2020 වසරේ ජනවාරි මස පටන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක මුළු වටිනාකමක් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම් සමඟ දැනට නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී ඇති අතර, එය 2022 වසරේ ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 11.55ක් දක්වා තවදුරටත් අඩුවනු ඇත. එය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් දක්වා පමණ ක්‍රමානුකූලව අඩුකර ගැනීමේ රජයේ අරමුණ සමඟ පුළුල්ව අනුකූල වේ. මෙම අරමුණ වෙනුවෙන් 2022 වසරේ ජූලි මාසයේ දී කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයද ඇතුළුව ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ද්විපාර්ශවික සහ බහුපාර්ශවික අරමුදල් සැලසුම් ගණනාවක් හරහා විකල්ප විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කර ගැනීමට රජය සහ මහ බැංකුව දැනටමත් අවහ්‍ය පියවර ගෙන ඇත. මෙම පසුබිම තුළ අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කර ගැනීම් සහ එමඟින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා, ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් (මෙම මාධ්‍ය වාර්තාවල දක්වා ඇති ආකාරයට) මේ මොහොතේ දී මතු නොවේ.

    ඒ අනුව අනාගත ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන් දුර්මත පතුරුවා හරින ඇතැම් පාර්ශවකරුවන්ගේ සාවද්‍ය කරුණු, නොමඟ යවන සුලු මත සහ වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස මහජනතාව සහ ආයෝජක ප්‍රජාව වෙත මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.