තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා සහන පොලී මත ණය ලබාදීම මාර්තු මස දී

    January, 16, 2018

    ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බව පැවසූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් පැවසීය.

    ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙනු ලැබේ. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර තිබේ.

    මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පසුගිය දා (10) මහා භාණ්ඩාගාරයේදී පවත්වන ලදී. අපනයනය ඉලක්ක කරගෙන ආර්ථිකය පුළුල් කිරීම තුළින් නව රැකියා බිහිකිරීමේ රජයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු බැංකුවල සහාය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවැසීය.

    ස්වයං රැකියාව ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය පුළුල් කිරීම සඳහා ක්ෂේත්‍රයට පිවිසීමේදී ප්‍රාග්ධන පිරිවැය හා ණය ලබාගැනීම සඳහා ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් බැංකු මගින් ණය ප්‍රතික්ෂේප වීමට මින් මතුවට රජය ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දුන්නේය.

    ව්‍යාපාරිකයන්ගෙන් බැංකු අපේක්ෂා කරන ඇප රජය විසින් ලබාදීමට කටයුතු යොදා ඇති බැවින් මින් මතුවට ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාවය පමණක් සැලකිල්ලට ගෙන සහන පොලී පදනම මත ණය ලබා දීමට හැකිවන පරිදි රජය විසින් ණයකරුවන් වෙනුවෙන් ඇපකරයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

    ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වයද ලබාගැනීමේ අරමුණින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනට එක්වන කාන්තාවන්ට ණය ලබාදීමේදී 75% ක පොලී සහනයට අමතරව තවත් 10% ක අතිරික්ත පොලී සහනයක්ද, විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්හට 15% ක අතිරික්ත පොලී සහනයක්ද රජය විසින් භාණ්ඩාගාර ඇපකර සමගින් ලබාදීමට තීරණය කර තිබේ.

    කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි, අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විතව එක් කොටස්කරුවෙකුගෙන් රු. 10,000 ක අවම ප්‍රාග්ධනය සමඟ ආරම්භ කරනු ලබන සමාගම් වලට මූල්‍ය නොවන තාක්ෂණික පහසුකම්ද රජය විසින් ලබාදෙනු ලැබේ. එවන් සමාගම්වලින් කල්බදු ක්‍රමයට ලබාගනු ලබන යන්ත්‍ර සූත්‍රවල කල්බදු පිරිවැයෙන් 75% ක් රජය විසින් දරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ඇපකරයද භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිකුත් කරනු ලැබේ.

    රැකියා දස ලක්ෂයක් බිහිකිරීම හා ඒක පුද්ගල ආදායම වැඩිකොට අපනයනය දිරිමත් කිරීම ප්‍රධාන අරමුණු කොටගෙන මාර්තු මස ආරම්භ කිරීමට යෝජිත රජයේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට මෙම පැවැති සාකච්ඡාවේදී සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීහු පොරොන්දු වූහ.