ත්‍රීවීල් පදවන්න විශේෂ අනුමැතියක් අනිවාර්යයි. ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම් බැහැ.

    August, 10, 2018

    පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.

    මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝජග අදාළ වන්නා වූ කිසිදු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් පැදවීම නොකළ යුතු බවට අවධාරණය කර තිබේ.

    එසේම අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් නියම කර ඇත.

    මීට අමතරව වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම, මෙම විශේෂ පිටසන ලබා ගැනීම සඳහා අනිවාර්ය කර තිබේ.

    කෙසේ වෙතත් මෙම නියෝග ක්‍රියාත්මක වන දිනයක් ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ නැත.