තාක්ෂණයේ සුපිරි තරු තෝරන IESL-UTE Raspberry Pi අභියෝගතා ශූරතාව ඇරඹේ

    May, 25, 2017

    ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ නව නිර්මාණයකරුවන් දිරිගැන්වීම සඳහා මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහාවන විශාලත ම ආයතනයවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) එක්ව සංවිධානය කරන Raspberry Pi අභියෝගතා තරගාවලිය පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.

    Raspberry Pi යනු බටහිර රටවල ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හට පරිගණක තාක්ෂණය ප්‍රගුණ කිරීම සඳහා හඳුන්වා දී ඇති ඉතා අඩු වියදම් සහ සරළ පරිගණක චීපයකි. ඉංජිනේරු ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන සිසුන් හට එම චීපය භාවිතා කර නව නිර්මාණ ගොඩනැගීමේ හැකියාවක් පවතින අතර ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ඇගයුමට ලක් කරමින් බටහිර රටවල විවිධ තරගාවලි ද සංවිධානය කෙරේ. පරිගණක දැනුම ආශ්‍රයෙන් යම්කිසි ඵලදායී නිපැයුමක් එළිදැක්වීමේ අවස්ථාව සිසුන් හට ලබා දෙමින් තරුණ පරපුරේ පරිගණක දැනුම සහ නිර්මාණශීලිත්වය වැඩිදියුණු කිරීම එම තරගවල අරමුණයි. එම අරමුණ ම පෙරදැරිව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ UTE සමාගම එක්ව Raspberry Pi අභියෝගතා තරගාවලිය ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඉංජිනේරු සිසුන්ටත්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය දරන තරුණ ඉංජිනේරුවන්ටත් සහභාගී විය හැකිය. IESL-UTE Raspberry Pi අභියෝගතා තරගාවලිය සැලසුම්කරණය සහ කේතකරණය තුළ නිර්මාණශීලිත්වය සහ අභියෝග බාර ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මනා වේදිකාවක් බවට පත්වනු ඇත.

    "මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා අප ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමග අත්වැල් බැඳ ගැනීමට තීරණය කළේ, විද්‍යාව සහ තාක්ෂණය තුළ ඇති නිර්මාණශීලිත්වය අපගේ තරුණ පරපුර අතර ප්‍රවර්ධනය කිරීම සඳහායි. අප තරුණ පරපුර වෙනුවෙන් සංවිධානය කරන බොහෝ වැඩසටහන් ඉංජිනේරු ක්ෂේත්‍රය ආශ්‍රිතව සංවිධානය කෙරෙන අතර, අපට අවශ්‍ය වන්නේ පරිසරය, සෞඛ්‍යය සහ සුබසාධනය වැනි පුළුල් ඉලක්ක ජය ගත හැකි නව්‍ය චින්තනයක් සහිත ඉංජිනේරු ප්‍රජාවක් මෙරට තුළ බිහි කිරීමටයි" යනුවෙන් UTE සමාගමේ සභාපති ප්‍රසාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    "අප සංවිධානය කරන වසරේ කනිෂ්ඨ නිපැයුම්කරු සහ වසරේ උපාධි අපේක්ෂක නිපැයුම්කරු යන තරගාවලි හරහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තරුණ සාමාජිකයන් පසුගිය වසර කිහිපය පුරා සිය නවෝත්පාදන හැකියාවන් මැනවින් පෙන්නුම් කර තිබෙනවා. රටේ දියුණුවට සහ තරගකාරීත්වයට අත්‍යවශ්‍ය අංගයක්වන නව්‍ය තාක්ෂණකරණය දේශීය ඉංජිනේරු ප්‍රජාවටත්, අනෙකුත් තරුණ-තරුණියන් අතරත් ජනප්‍රිය කිරීම සඳහා මෙම තරගය මගපෙන්වනු ඇති බව අපගේ විශ්වාසයයි" යයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු ජයවිලාල් මීගොඩ මහතා ප්‍රකාශ කළේය.

    තිදෙනෙකුගෙන් සැදි කණ්ඩායම් සඳහා මෙම තරගාවලිය සඳහා ඇතුළත් විය හැකි අතර Raspberry Pi පරිගණකය භාවිතයෙන් නිපදවිය හැකි සමාජයට වැඩදායී සහ හැකි පමණ වාණිජමය වටිනාකමක් සහිත යෙදවුමක යෝජනාවක් සංවිධායකයන් වෙත යොමු කළ යුතුය. www.raspberrypi.lk වෙත පිවිසීමෙන් අයදුම්පත්‍රය බාගත කර ගත හැකි අතර, එම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති ව්‍යාපෘති යෝජනාවේ නිර්මාණශීලිත්වය මත දෙවන වටය සඳහා තරගකරුවන් තෝරා ගැනේ.

    අත්දැකීම් බහුල කීර්තිමත් වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් දෙවන වටය සඳහා ව්‍යාපෘති යෝජනා 30ක් තෝරා ගනු ලැබේ. UTE සමාගම ඔවුන්ට අවශ්‍ය Raspberry Pi ක්ෂුද්‍ර පරිගණක සහ අනෙකුත් වියදම් ලබා දීමට කටයුතු කරයි. සියලු කණ්ඩායම් සිය ව්‍යාපෘතියේ සියලු අදියර ලේඛනගත සහ පටිගත කළ යුතුය. සෑම ව්‍යාපෘතියක ම නවතාව සහ නවෝත්පාදන හැකියාව මත විනිශ්චය මණ්ඩලය කණ්ඩායම් ඇගයුමට ලක් කරයි.

    ජයග්‍රාහී කණ්ඩායම සඳහා IESL-UTE අභියෝගතා කුසලානය පිරිනැමේ. ඊට අමතරව, රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග ද පිරිනැමීමට නියමිතය. ජයග්‍රාහී කණ්ඩායම සඳහා රු. 250,000ක් ද, දෙවන ස්ථානය සඳහා රු. 150,000ක් ද, තෙවන ස්ථානය සඳහා රු. 100,000ක් ද හිමිවනු ඇත. නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ දැවැන්ත තාක්ෂණ සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම සහ ඔවුන්ට හිමි ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. ජයග්‍රාහී ආදර්ශ සහ මුල් ආකෘති ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන TECHNO 2017 ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරේ.

    1UTE-IESL

    2UTE-IESL