තාක්ෂණ හා සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ජර්මනියේ ඩිජිටල් නෝමැඩ් තානාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

    February, 28, 2022

    තාක්ෂණ හා සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ජර්මනියේ ඩිජිටල් නොමෑඩ් තාක්ෂණික ව්‍යාපාර තොරතුරු හුවමාරු තානාපති වැඩසටහනක් මෙරට ආරම්භ කෙරේ. ඒ අනුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ 'Nomad4LK' තරගයේ ජයග්‍රාහක තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී. ඩිජිටල් නොමෑඩ් යනු ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් ඒ ඒ රටවල සිට අන්තර්ජාලය හරහා දුරස්ථව රැකියා කරන ස්වාධින සංචාරකයින් පිරිසකි. මෙවර ඩිජිටල් නොමෑඩ් ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූ Matthew de Caussin ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාර අවස්ථා පිළිබඳ සජීව විස්තර ඩිජිටල් නොමැඩ් ප්‍රජාව වෙත රැගෙන යන අතර මෙරට සංචාරය කරන අතරතුර පහසුවෙන් අන්තර්ජාලය හරහා තම ව්‍යාපාර කටයුතු කරගැනීමේ ඇති පහසුවද අනාවරණය කරනු ඇත. එමගින් අන්තර් ජාතික තාක්ෂණික ව්‍යාපාරික ප්‍රජාවට මෙරට සංචාරය කිරීමේ පෙළඹවීම් ඇති කරන අතර මෙරට තාක්ෂණ ආයෝජකයන්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා උදාකර දීමට ද හැකිවනු ඇත. ඒ සදහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) , Hatch Works, enpact සහ Digital Nomad Ambassador තරඟ ජයග්‍රාහකයා වන Matthew de Caussin අතර අවබෝධතා ගිවිසුමක් අත්සන්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත්කරමි කියා සිටී.

    මෙමගින් ලෝකය Digital Nomads ප්‍රජාවවෙත අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දෙන අතර, එක්සත් රාජධානිය පදනම් කරගත් සංචාරක බ්ලොග් අඩවියක් (Blogs) වන Clubmed විසින් ගෝලීය වශයෙන් ඩිජිටල් නෝමැඩ්ස් සඳහා හොඳම රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත. අඩු ජීවන වියදම් සහ අන්තර්ජාලය හරහා දුරස්ථ වැඩකිරීමේ පුළුල් අවකාශයන් සමඟ සංචාරය කිරීමට පහසුකම් ඇති තාක්ෂණික ව්‍යාපාරිකයන් සඳහා වූ දෙවන හොඳම රට ලෙස ද ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත.

    මේ සඳහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ‘ඩිජිටල් නෝමැඩ් වීසා’ කාණ්ඩයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි, මනෝරි උනම්බුවේ මහත්මිය ප්‍රකාශ කළේ, “ඩිජිටල් සඳහා සුදුසුම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ කාලෝචිත මුලපිරීමක් වන මෙම ප්‍රථම ඩිජිටල් නෝමැඩ් තානාපති වැඩසටහන ආරම්භ කිරීම ට හැකිවීම පිළිබඳව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආඩම්බර වන බවයි. මෙය ජර්මනියේ සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආරම්භක පරිසර පද්ධති (startup ecosystems) අතර සහයෝගීතාව ශක්තිමත් කරන අතරම, ලොව පුරා සිටින ඩිජිටල් නෝමැඩ් සංචාරකයින් සඳහා රටේ නවීන යටිතල පහසුකම් ද ප්‍රදර්ශනය කිරීමට හැකිවේ. එමෙන්ම මෙතෙක් අවධානයට යොමුනොවූ, සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් නව වෙළඳපල අවස්ථා විවරකර ගැනීමට හැකිවේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය සහ සහයෝගය අප අගය කරන අතර, ඉදිරියේදී රටට වඩාත් ඵලදායි ප්‍රතිලාභ ගෙන ඒම සඳහා එවැනි මුල පිරීම් හේතු වනු ඇති අපි බලාපොරොත්තුවෙමු.“

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හි(ICTA) සභාපති ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කළේ “ආරම්භක පරිසර පද්ධතියට, startup ecosystems මෙය විශේෂ අවස්තාවක් වන්නේ එහි වර්ධනයට විශාල රුකුලක් වන නිසයි. ඩිජිටල් නෝමැඩ්ස් හා ව්‍යවසායක සංචාරක ව්‍යාපාරය ලෝකයේ වර්ධනය වන වෙළඳපොලකී. ශ්‍රී ලංකාවට මෙම නැගී එන වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමට මෙය සුදුසු මොහොතකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA සමඟ මෙම වැදගත් මුලපිරීම සඳහා සම්බන්ධ වූ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටත් enpact සහ Hatch ආයතනවලටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.“

    Digital Nomad තරඟ ජයග්‍රාහකයා වන Matthew de Caussin ප්‍රකාශ කළේ, “ඩිජිටල් නෝමැඩ් තානාපති වැඩසටහන පෘථිවියේ සුන්දරම ස්ථානයක සිට දුරස්ථව වැඩ කිරීමට කැමති දේ බෙදා ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාවකි. මා දන්නා බොහෝ ව්‍යවසායකයින් එක්කෝ දැනටමත් සංචාරක ජීවිතයක් ගත කරමින් හෝ එසේ කිරීමට ක්‍රියාශීලීව සොයමින් සිටිති. මගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ජීවිතය ගත කිරීමේදී අත්දකින පුදුම සහගත දේ මොනවාදැයි සොයා ගැනීමට මා හා එක්වන ලෙස අනෙකුත් ව්‍යවසායකයින්ට සහ අයට ආරාධනා කරන අතර මා තෝරා ගැනීම ගෞරවයට කරුණක් බවත් ප්‍රකාශ කරමි. ශ්‍රීලංකන් එයාර්, SLTMmobitel, ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) මෙම වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය දක්වයි.

    ඡායාරූපය : තමාෂා ප්‍රනාන්දු (ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය, Startup Ecosystem Development - ICTA,) අනුදි නානායක්කාර (ජ්‍යෙෂ්ඨ කළමනාකාර, නීති – ICTA,) අනුර ද අල්විස්, (ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී – ICTA,) ඕෂද සේනානායක , සභාපති – ICTA, මැතිව් ද කොසින් ( -ඩිජිටල් නෝමැඩ් තානාපති), බ්‍රින්ධා සෙල්වදුරෙයි (ජර්මන් ප්‍රධාන විධායක නිලධාරි /සම-නිර්මාතෘ - Hatch Works), මිනුරි අබේසුරිය( Hatch Works - වැඩසටහන් ප්‍රධානී).