තායි සුමේධා සම්මාන පිට සම්මාන ලබයි

    February, 1, 2019

    වසර 30 ක කාලයක් පුරා ප‍්‍රමිතියෙන් උසස් හඳුන්කූරු නිෂ්පාදනය කර බෙදා හරිමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවය දිනා සිටින තායි සුමේධා (පුද්ගලික) සමාගම සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදී සංගමය විසින් පසුගියදා පවත්වන ලද ජනාභිමානී ගෞරව ප‍්‍රණාම - 2018 සම්මාන උළෙලේදී ජනාභිමානී ගෞරව සහ හෙළයේ මහා විරු රාවණ රාජාභිමාණී ගෞරව යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීය. දසවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී තායි සුමේධා වෙත සම්මාන ද්විත්වය පිරිනමනු ලැබුවේ විවිධ මාදිලිවලට අයත් උසස් ප‍්‍රමිතියෙන් යුතු හඳුන්කූරු ලොව පුරා බෙදා හරිමින් සමාගම දේශීය ආර්ථිකයට ලබාදෙන දායකත්වය සහ සමාජ සත්කාරයට මුල්තැන දෙමින්, අඩාල වෙමින් පැවැති ග‍්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීම පිණිස දැයට අවශ්‍ය දේ උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීම ඇගැයුමට ලක් කරමිනි.

    ප‍්‍රවීණ කලාකරු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ හා ප‍්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් සහ ප‍්‍රවීණ රංගන ශිල්පිනී ශ‍්‍රියාණි අමරසේන හා හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු යන මහත්ම මහත්මීන් විසින් තායි සුමේධා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුමේධ ඇල්පිටිය මහතා වෙත මෙම සම්මාන ද්විත්වය පිරිනමනු ලැබීය.