තැඹිලි දැන් ගිනි ගණන්

    April, 27, 2016

    දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක මිල රු. 80 ක් පමණ වන බව අද දෙරණ Biz කළ නිරීක්ෂණයක දී තහවුරු කර ගත හැකි විය.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තැඹිලි වෙළෙන්ඳන් කියා සිටියේ විශාල වශයෙන් තැඹිලි අපනයනය කරන බැවින් පිටකොටුව තොග වෙ‍ළෙඳපොළ වෙත ප්‍රමාණවත් තැඹිලි තොග නොලැබී යාම නිසා මෙයාකාරයෙන් තැඹිලි මිල ඉහළ ගොස් ඇති බවයි.

    බටහිර සහ නැගෙනහිර යුරෝපානු රටවල්, මැද පෙරදිග හා ඇමරිකානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා මේ වන විට විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. මේ අනුව තැඹිලි වතුර බෝතල් කර අපනයනය කිරීම ද අද වන විට ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශීය තැඹිලි වෙළෙඳුන් කියා සිටියේ සාමාන්‍ය තැඹිලි ගෙඩියක මිල රු. 100 ක් වන දිනය වැඩි ඈතක නොවන බවයි.

    පහත දැක්වෙන්නේ තැඹිලි වතුර අපනයනය සඳහා බෝතල් සහ පැකට් ආකාරයෙන් සකස් කර ඇති ආකාරයයි.