තුෂාර ජයරත්න ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

    July, 6, 2023

    සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තුෂාර ජයරත්න මහතා පත් කළ බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සතුටින් ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ වසර 28 කට වැඩි වෘත්තීය ජීවිතයක් ගත කරන ජයරත්න මහතාට කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අත්දැකීම් සම්භාරයක් ඇත. ඔහු කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති අතර අලෙවිකරණය, ගණුදෙනු සහ වෙළෙඳපොළ ආවේක්ෂණ , වෙළෙඳපොළ සංවර්ධන සහ ව්‍යාපාර සංවර්ධන යන ක්ෂේත්‍රවල සේවය කර ඇත. ඔහු කොළඹ කොටස් හුවමාරුවෙහි කටයුතු කළ කාලය තුළ, ආයෝජකයින් සඳහා වැදගත් මුලපිරීම් කිහිපයක් හඳුන්වා දීමට හැකියාව ලැබුණු අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන් සංකල්පය හඳුන්වාදීම ඔහු  විසින් සිදු කරන ලදි. එයට අමතරව, කොළඹ කොටස් හුවමාරුවෙහි ශාඛා ජාලය පිහිටුවීම, ස්වයංක්‍රීය ගණුදෙනු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව විදේශීය ආයෝජක සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ආදී කර්තව්‍යයන්හීදී, ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමට පෙර ඔහු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව තුළ ජ්‍යෙෂ්ඨ භූමිකාවන් කිහිපයක් දැරූ අතර බාහිර සම්බන්ධතා ,ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය, වෙළෙඳපොළ ආවේක්ෂණ සහ මානව සම්පත් කළමනාකරණය යන බහුවිධ වැඩ ප්‍රවාහයන් සඳහා නායකත්වය ලබා දුන්නේය. වෙළෙඳපොළ  ආවේක්ෂණ ප්‍රධානියා ලෙස, සිදුවිය හැකි වෙළෙඳපොළ විෂමාචාර හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. බහිර සම්බන්ධතා අධ්‍යක්ෂවරයා ලෙස, සුරැකුම්පත් අංශයේ ගෝලීය ප්‍රමිති සකසන්නෙකු වන ජාත්‍යන්තර සුරැකුම්පත් කොමිෂන් සභා සංවිධානයෙහි (IOSCO)   සුළු පරිමාණ ආයෝජකයින් පිළිබඳ කමිටුවේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ඔහු මූලික විය.  ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඔහු “අයෝජනයට මුලපුරමු” නමින් ග්‍රන්ථයක් රචනා කර ඇත. තුෂාර ජයරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධියක් ලබා ඇත.