October, 12, 2026
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව 2026’ (Sri Lanka Economic & Investment Summit 2026) අද (12) කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් එක්වීමට නියමිතය.
මෙවර සමුළුව “වෙනස් වන ගෝලීය ආර්ථිකයක් තුළ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය” (“Positioning Sri Lanka in a Changing Global Economy: Resilience, Reform, and the Future of Economic Policy”) යන තේමාව යටතේ පැවැත්වේ. ආර්ථිකය ස්ථාවර කිරීමෙන් ඔබ්බට යමින් දිගුකාලීන වර්ධනය පවත්වා ගැනීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කලාපීය වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සහ නව ආර්ථික ක්ෂේත්‍ර නිර්මාණය කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කෙරේ.
ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින තුළ පැවැත්වෙන මෙම සමුළුවේදී ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව, කලාපීය අගය එකතු කිරීමේ සැපයුම් දාම, සෞඛ්‍ය ක්ෂේත්‍රය, බලශක්තිය සහ ජාතික සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණයේ භූමිකාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම, Reliance Consumer Products Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටී. ක්‍රිෂ්ණකුමාර් මහතා මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව (ADB), ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, Zydus Lifesciences සහ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව (IFC) යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මෙහි ප්‍රධාන දේශකයින් ලෙස සහභාගී වෙති.
Video Story