November, 7, 2017
රට තුළ උද්ගත වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වූ වගකීම තම සමාගමට භාර ගත නොහැකි බව ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා IOC මෙරට ප්‍රධානියා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“අපි ඔක්තෝබර් 02 වන සතියේ බෙදාහැරීමේ කටයුතු සඳහා තෙල් නැවක් ගෙනාවා. ඒ තෙල් ප්‍රමාණයේ සහ ප්‍රමිතියේ වගකීම තියෙන්නේ අපේ සැපයුම්කරුටයි. ඒ තෙල් සිපෙට්කෝ රසායනාගාරවල දී පරීක්ෂා කරලා බැලුවා. එතකොට තෙල්වල තියෙන අපද්‍රව්‍ය දකින්නට ලැබුණා. මේ තෙල් තොගය ප්‍රතික්ෂේප කළාට පස්සේ අපි ටොටාල් යන එම ආයතනයේ කොටස නැවත හරවා යැව්වා. පසුව ඔක්තෝබර් 31 වන දා අපි තීරණය කළා මේ තෙල් ටික පිළිගන්න බැහැ කියලා. අපි වහාම ප්‍රතික්ෂේප කළා මේක භාරගන්න එක. ඒ සමඟ ඒ සියලු වැඩකටයුතු නතර කළා. ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා තියෙන නැව අපිට අයිති නැහැ. අපි ක්‍රියාමාර්ග ගන්නවා ටොටාල් ආයතනයට එරෙහිව.“
“මෙරට වෙළෙඳපොළෙන් 16% යි අපිට තියෙන්නේ. අපේ තොග තියෙන්නේ අපේ වුවමනාවට හරියන පරිදි. අපි ත්‍රිකුණාමලයෙන් කුඩා ප්‍රමාණයෙන් දෛනිකව මුදා හරිනවා. ලංකා IOC එකෙන් මොනයම් හෝ වැරැද්දක් කරලා තිබෙන බව පවසනවානම් ඒ හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා.“
Video Story