තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

    April, 19, 2018

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය නදර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ.

    ජාත්‍යන්තර තෙල් මිල සම්බන්ධයෙන් වන ප්‍රධාන මිණුම් දණ්ඩ වන  Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලර් 73.48 දක්වා ඉහළ ගිය අතර 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහළම මිල ලෙසින් එය සඳහන් වේ.

    මේ අතර එක්සත් ජනපදයේ West Texas Intermediate‍ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 68.47 ක් දක්වා ඉහළ ගියේ, 2014 දෙසැම්බර් 02 න් පසු වාර්තා වූ වැඩිම මිල වාර්තා කරමිනි.

    රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් පවසන්නේ සවුදි අරාබිය මෙලෙස තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වී ඇති රාජ්‍යය බවයි. සවුදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගමක් වන Aramco විසින් සිය සුළුතර කොටස් හිමිකම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා අලෙවි කිරීමට සූදානම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලබා ගැනීම සඳහා බොරතෙල් බැරලයක ජාත්‍යන්තර මිල ඩොලර් 80 හෝ 100 දක්වා යාම සවුදියේ අපේක්ෂාව බවත්ය.

    මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳාමේ නිරත සමාගම් දෙකෙන් එකක් වන ලංකා අයි ඕ සී සමාගම් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පසුගිය දා පියවර ගත්තේය. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට උත්සුක නොවන බව නිවේදනය කර සිටියේය.

    මේ පිළිබඳව කළ විමසීමක දී ආර්ථික විශ්ලේෂකයෙකු වන සංජීව ප්‍රනාන්දු මහතා අද දෙරණ වෙත කියා සිටියේ , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා පාදක කර ගෙන ඇත්තේ බොරතෙල් බැරලයක උපරිම මිල ඩොලර් 62 ක් ලෙස තීරණය කිරීමෙන් බවත්ය. මහ බැංකු අධිපතිතුමන්ගේ ප්‍රකාශයක් පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 62-65 මට්ටමේ පවතිද්දී දේශීය ඉන්ධන මිල ගණන්වල වැඩි කිරීමක් බලාපොරොත්තු නොවන බව ඔහු එහිදී අනාවරණය කර සිටියේය.

    කෙසේ වෙතත් අදාළ සීමාවන් මේ වන විට ඉක්මවා ගොස් තිබෙන අතර එහිදී දේශීය වශයෙන් ඉන්ධන මිල වැඩි වීමක් සිදුනොකිරීම ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ ඉහළ යාම කෙරෙහි සෘජුව බලපානු ඇත.