තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නෑ – ඇමති අර්ජුන

    October, 7, 2017

    දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

    “තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි ඕ සී සමාගම මුදල් අමාත්‍යාංශයත් එක්කත් මා එක්කත් සාකච්ඡා කළා. නමුත් මම කිව්වේ දැනට තෙල් මිල වැඩි කරන්න එපා කියලා. ඒක රජයේ ඉල්ලීමක්. නමුත් අයි. ඕ. සී එක තෙල් මිල වැඩි කළොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස අපි පාඩු ලබා ගෙන තෙල් සපයන්න ඉදිරිපත් වෙන්න ඕන.

    මම හිතනවා මේ වෙලාවේ තෙල් මිල වැඩි කිරීමට අවශ්‍ය වුණත් ජනතාව පැටවෙන බර ගැන හිතලා එහෙම කළ යුතු නැහැ. නමුත් රජය තීරණය කළොත් අපිත් වැඩි කරන්න ඕන කියලා අපිටත් ඒකට එකග වෙන්න වෙනවා.

    කෙසේ නමුත් තෙල්මිල වැඩි වුණාම එය සියලු අංශයන්ට බලපානවා. එයින් තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒගැන තමයි මම හුඟක් දුරට බලන්නේ. ඒ නිසා දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැහැ.

    මගේ පෞද්ගලික මතය ඔබ ඇහුවොත්, මම කියන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් විය යුතු නැහැ. විශේෂයෙන්ම අපි මහජනතාවට සහන දෙන්න අවශ්‍යනම්. එහෙම නැතිව මහජනතාව ගැන සිතන්නේ නැතිව ලාභය ගැන හිතනවා නම් මේ ආයතනයට ලාභ ලබන්නත් පුළුවන්. ඉතිං අපි යන්න ඕන මධ්‍යස්ථ තැනකට. සහන දෙන ගමන් පාඩු නොලබන තැනකට මේ ආයතන ගෙන යා යුතුයි. එහෙම කරන්න පුළුවන් වුණොත් එය අපි ලබන ලොකු ජයග්‍ර‍හණයක්.

    ලංකා අයි ඕ සී සමාගම තෙල් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍ර‍ශ්න කළේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “ලංකා අයි ඕසී සමාගමට අවශ්‍යනම් තෙල් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපිටත් ඒ වෙලාවට තීරණ ගන්න වෙනවා. විශේෂයෙන්ම ඒ ගොල්ලන්ට ඕන ඕන දේවල් මේ රටට ඇවිල්ලා කරනවා නම් ඒක කිරීමේ වරදක් තියෙනවා. ඒකට ආණ්ඩුවක් තියෙනවා. මං හිතන්නේ ආණ්ඩුව ඒකට තීරණය ලබා දිය යුතුයි. නමුත් මෙහි තවත් පැත්තක් තියෙනවා. සමහර විට තම සමාගම අලාභ ලබන විට මෙහි සිටින නිලධාරීන් ඉන්දියාවේ මව් සමාගමට වගකියන්න ඕන. ඒක ප්‍ර‍ශ්නයක් විය හැකියි. නමුත් ඕන ඕන විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ. අපි තීරණයක් ගත යුතුයි ඉදිරියට මේ ව්‍යාපාරය කොහොමද කරන්නේ කියලා. මං හිතන්නේ ඒ සඳහා මිල සූත්‍ර‍යක් අනිවාර්යෙන්ම කොයි කාලේ හරි ඉක්මනට එන්න ඕන. ඒ කියන්නේ ලෝක වෙළඳ පොළේ මිල වැඩි වන විට අපේ මිල වැඩි වෙන්න ඕන. ලෝක වෙළඳ පොළේ මිල අඩු වෙනකොට අපේ මිල අඩු වෙන්න ඕන. මිල සූත්‍ර‍ය හඳුන්වා දීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මිල සූත්‍ර‍යක් හඳුන්වා දෙනවා නම් එය මගේ මිල සූත්‍ර‍යක් විය යුතු නැහැ. රජය සුදුසු පුද්ගලයින්ගෙන් යුක්ත කමිටුවක් පත් කරලා එය කළ යුතුයි. ඒ කියන්නේ අපිට ස්වාධීන ක්‍ර‍මවේදයක් හදන්න ඕන මේ වගේ ආයතන දුවන්න ඕනනම්.

    දැනුත් අපි භූමිතෙල්වල ලොකු පාඩුවක් ලබනවා. ඩීසල්වලත් සෑහෙන්න පාඩුවයි. එහෙම දිගටම යනවද එහෙම නැත්තම් පාඩුව අඩු කරගන්න කටයුතු කරනවාද කියලා අපි සලකා බලන්න ඕන. විශේෂයෙන්ම පසුගිය කාලේ අපේ වියදම වැඩියි. විශේෂයෙන්ම නඩත්තුව සඳහා. අපි බලන්නේ මේ වියදම අඩු කරන්න. දැන් හොඳම උදාහරණය පිරිපහදුව. අලුතින්ම හදන පිරිපහදුවක් මිනිස්සු 250කින් 350කින් විතර කරන්න පුළුවන්. හැබැයි අපේ 1500ක් විතර ඉන්නවා. වරායේදීත් ඔය ප්‍ර‍ශ්නේ තිබුණා. විශේෂයෙන්ම දේශපාලන ක්‍ර‍මවේදත් එක්ක මේ ආයතන දුර්වල වුණු අවස්ථා තියෙනවා. අපි රජයක් හැටියට තීරණයක් ගන්න ඕන, මේ ආයතනය ලාභ ලබන ආයතනය බවටම පත් කරනවද, එහෙම නැත්නම් සහනදායක මිලකට ඉන්ධන සපයන ආයතනයක් බවට පත් කරනවද කියන එක. මම නම් කියන්නේ මේ ආයතන සහන දෙන අතරේ පාඩු නොලබන තැනකට ගෙන යා යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.