තෙල් සංස්ථාවට මාස 04ක දී බිලියන 43 ක ලාභයක්

    July, 10, 2023

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2023 වසරේ මුල් මාස 04 තුළ දී රු. බිලියන 43.4 ක ලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව පෙන්වා දේ.

    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 දෙසැම්බරයේ දී බැරලයකට ඩොලර් 81 ක්ව පැවති ගෝලීය වෙළඳපොලේ බොරතෙල් සාමාන්‍ය ආනයන මිල, 2023 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් 78.5ක් දක්වා පහත වැටී ඇති බවයි.

    2023 ජනවාරි - අප්‍රේල් මාස 04 තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 1,599.7 කි. එය සමස්ත ආනයන වියදමෙන් 30% ක් පමණ වේ. කෙසේවෙතත් මෙම අගය 2022 වසරේ මුල් මාස 04 දී ඉන්ධන ආනයනය සඳහා දරන ලද ඩොලර් මිලියන 1,922.4 ට වඩා 16.8% ක පහළ අගයයකි.

    2023 මුල් මාස 04 තුළ සමස්ත ඉන්ධන ආනයන වියදම තුළ, ඩොලර් මිලියන 277.1 ක බොරතෙල් ආනයන සහ ඩොලර් මිලියන 1,009.3 ක පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන අන්තර්ගත වන අතර එහිදී ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කර ඇති පෙට්‍රොලියම් නිෂ්පාදිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 877.35 ක් වේ.

    ආසන්න වශයෙන් එය මුළු ඛනිජ තෙල් ආනයන වියදමෙන් 54% ක ප්‍රමාණයක් නියෝජනය කරනු ඇති බව මෙම 2023 වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.