තේක්ක වැවූ ටච්වුඩ් සියළු බැංකු ගිණුම්වල ඇත්තේ එක් ලක්ෂ පන් දහසයි

    September, 1, 2014

    කලක් මෙරට තේක්ක ආයෝජන ව්‍යාපෘති සිදුකර පසුව අර්බුදයට පත්වූ ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමේ සියළුම බැංකු ගිණුම්වල මේ වනවිට තිබෙන්නේ රුපියල් 105,720.17 ක මුදලක් පමණක් බව අනාවරණය වේ.

    මෙම සමාගම ඈවර කිරීම (Liquidate) සඳහා පත්කර තිබෙන ඈවරකරුවා (Liquidator) වන ජී.කේ. සුදත් කුමාර් මහතා වෙත ඉදිරිපත් කර තිබෙන සමාගමේ වත්කම් හා වගකීම් පිළිබඳ වාර්තාවෙන් මේ බව හෙළිවේ.

    මෙහි සඳහන් වන ආකාරයට සමාගම සතු වත්කම්වල (Assets) සමස්ත වටිනාකම රුපියල් මිලියන 694.9 කි. මෙහිදී, සමාගම විසින් දැරණියගල ටී ස්ටේට් ලිමිටඩ් හි, රුපියල් මිලියන 232 ක්ද, ෆාම් ග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් හි, රුපියල් මිලියන 05 ක්ද, ටච්වුඩ් ෆ්ලෝරින්ග් ප්‍රයිවට් ලිමිටඩ් හි, රුපියල් මිලියන 14.7 ක්ද ආයෝජනය කර ඇතැයි සඳහන්ය.

    මීට අමතරව, ගස් වවා තිබෙන රුපියල් මිලියන 335 ක් වටිනා ඉඩම්ද සමාගම සතුයැයි ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. ඈවරකරුවාට දැනුම් දී ඇත.

    මෙහි දැක්වෙන ආකාරයට සමාගම සතු වගකීම් ප්‍රමාණයේ (Liabilities) වටිනාකම රුපියල් මිලියන 1075.7 කට ආසන්නවේ.
    ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම ඈවර කර (Liquidate) වසා දමන්නැයි පනවා තිබෙන නඩුව කොළඹ වාණිජ මහාධිකරණයේදී විභාග වන අතර එය විභාගයට ගන්නේ ලබන සැප්තැම්බර් 19 වනදායි.