තේ කර්මාන්තයේ සිදුකෙරන අකටයුතුකම් සම්පූර්ණයෙන් නිශේධනය කරනවා – වැවිලි ඇමති

    September, 28, 2020

    තේ කර්මාන්තය හා බැඳුනු යම් යම් ගැටළු පවතින බවත්, එහිදී ලංකාවේ Pure Ceylon Tea නාමය ආගාධයකට ලක් කරන සිදුවීම් පිළිබඳව තමන් දැනුවත් බවත් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාෙව් තේ කර්මාන්තශාලා හිමියන්ගේ 30 වන වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තේ කර්මාන්තයේ සිදුවන විවිධ අකටයුතුකම් සම්පූර්ණයෙන් නිශේධනය කිරීමට ඉදිරි කාලයේ දී කටයුතු කරනු ලබන බවයි.

    වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වාණිජ තේ කර්මාන්තය ආරම්භ කිරීමේන් පසු ඒ හා සම්බන්ධ විශාල පිරිසක්, විශේෂයෙන් තේ වවන පුද්ගලයින්, තේ කර්මාන්තශාලා හිමිකරුවන්, තේ අපනයනකරුවන් ඇතුළු විශාල පිරිසක් රටට දැවැන්ත විදේශ විනිමයක් උපයා දීමට දායකත්වය ලබා දී තිබෙනවා. මීට වසර 30කට පමණ පෙර එය ලංකාවට වැඩිම අපනයන අදායම ලබාදුන්නු වෙළෙඳ භාණ්ඩය බවට පත්වෙලා තිබුණා. නැවත වතාවක් ශ්‍රී ලංකාවටය වැඩිම ජාතික ආදායමක් උපයා දෙන තේ, ලංකාවේ සිලෝන් තේ නාමය ආරක්ෂා කර ගනිමින් වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ අරමුණින් අපේ රජය කටයුතු කරන බව පැහැදිලිව සඳහන් කරනවා. ඒ සඳහා අවහ්‍ය පහසුකම් තේ වැවිලිකරුවන්ට, කර්මාන්තශාලා හිමියන්, අපනයනකරුවන් වෙත ලබා දීමට අපි කටයුතු කරනවා.“

    “ඒ අර්ථයෙන් නිෂ්පාදනය වැඩි කරනවා වගේම, නිෂ්පාදන ඵලදායීතාවය වැඩිකරනවා වගේම තේවල ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් දැනටමත් අපි අරගෙන තිබෙනවා. පසුගිය කොරෝනා අර්බුද සමයේ දී රටේ තේ කර්මාන්තශාලා නොවසා අඛණ්ඩව පවත්වාගෙන යාම හරහා මේ රටෙන් විශාල තේ ප්‍රමාණයක් අපනයනය කරන්න ලැබුණා. ඒ වගේම කොළඹ තේ වෙන්දේසිය ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ලෝකයට රැගෙන යාමේ අවස්ථාව අපිට ලැබුණා. ඒක හොඳ අවස්ථාවක්. අද අපිට හොඳ අපනයන වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කරමින් ආරක්ෂා කරනවා වගේම තේ කර්මාන්තය හා බැඳුනු යම් යම් ගැටළු පවතිනවා. එහිදී ලංකාවේ Pure Ceylon Tea නාමය ආගාධයකට ලක් කරන සමහර කරුණු කාරණා සමහර ස්ථානවල සිදුවෙන බව අපි වටහා ගෙන තිබෙනවා. එහිදී තේවලට සීනි ඇතුළු විවිධ ද්‍රව්‍ය කවලම් කිරීම හරහා සිදුකරන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නවතා දමමින් එම වැරදිකරුවන්ට දඬුවම් කරන්නත්, ලංකාවේ තේ කර්මාන්තයේ සිදුවන විවිධ අකටයුතුකම් සම්පූර්ණයෙන් නිශේධනය කරන්නත් ඉදිරිකාලයේ දී කටයුතු කරනවා. “