තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිබදව පාසල් සිසුන් දැනුවත් කිරීමක්

    September, 14, 2016

    තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව තිබෙන වෘත්තීමය අවස්ථාවන් පිලිබදව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම මස 26 සහ 27 යන දිනයන්හි මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.

    තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිඹදව නිපුන තාවයකින් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වන අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමද සිදු කරන බව නියෝජිතායතනය පවසයි.

    නැගෙනහිර පළාතේ පාසල් 60 කට අයත් පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් 1800ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබේ.

    මීට සමගාමීව මෙම මස 20 දා මේ සදහා සහභාගිවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අයත් පාසල් වල විදුහල්පතිවරුන්ට සහ තොරතුරු තාක්‍ෂණ විෂ්‍යය උගන්වන ගුරුමහත්ම මහත්මීන්ටද තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිලිඹදව දැනුවත්කිරීමේ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර මෙමගින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මීට තිබෙන උනන්දුව අඛන්ඩව වර්ධනය කිරීමට රුකුලක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    මේ වන විට ගාල්ල මාතර කුරුණෑගල නුවර අනුරාධපුරය බදුල්ල යාපනය ඇතුලු දිවයිනේ දිස්ත්‍රික්ක 11 පමණ මෙම වැඩසටහන පවත්වා අවසන් කර තිබෙන බවත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත් නියෝජිතායතනය පවසයි.

    ස්ලැස්කොම් (SLASSCOM) සහ ෆිටිස් ( FITIS) යන ආයතන වල සහායද මේ සදහා ලැබී තිබේ.