තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    April, 25, 2015

    යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත මගින් රට දැනගත යුතු වැදගත් ආර්ථික දත්ත එළියට පැමිණීම සීමාවීමේ ඉඩකඩක් නිර්මාණය වීමේ අවධානමක් තිබෙන නිසා මේ පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුබව විශ්ලේෂකයින් සඳහන් කරයි.

    කෙටුම්පත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබී තිබේ.

    විශ්ලේෂකයින් අනතුරු හඟවන්නේ විනිවිදභාවය අඩු මහා භාණ්ඩාගාරය මෙන්ම මීට පෙර ආර්ථික දත්ත කාර්යක්ෂම රටට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම පනත් කෙටුම්පතේ තිබෙන ප්‍රතිපාදන භාවිතා කරමින් ආර්ථික දත්ත ඉදිරිපත් කිරීම සීමා කිරීමට හැකියාවක් ඇති වෙනවාදැයි සොයා බැලීම වැදගත් බවයි.

    මන්දයත්, මෙම ආයතන වලට ආර්ථික දත්ත නිකුත් කිරීම සීමා කිරීමට හැකියාව තිබෙන ප්‍රතිපාදන කිහිපයක්ද මෙම පනත් කෙටුම්පතේ අඩංගුවන නිසාවෙනි.

    හෙළිකිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකි තොරතුරු සහ හෙළි කිරීම මගින් කිසියම් පුද්ගලයෙකුගේ වාණිජමය බැඳියාවන්ට හානි පමුණුවන හෝ කිසියම් වෙළඳ රහසක් අනාවරණය වන තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබෙන බව මෙම පනත් කෙටුම් පතේ දක්වා තිබේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකි තොරතුරු යන්නෙන් කුමන ආකාරයේ ආර්ථික දත්ත අර්ථ දැක්වේදැයි පැහැදිලි නොමැති නිසා මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වනවිට නිකුත් කරන ආර්ථික දත්ත වලට පවා මේ නිසා සීමාවක් ඇතිවීමේ ඉඩකඩක් තිබේදැයි ගැඹුරින් සාකච්ඡා කළ යුතුව ඇත.

    විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිටත් නිකුත් කරන ආර්ථික දත්ත වලින් සමහර ඒවා ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකියැයි ඇතමෙකුට තර්ක කළ හැකි බවයි.

    විදේශ සංචිතය අඩුවී යාම, වෙළඳ හිඟය වර්ධනය වීම, (Trade deficit) මුදල් අච්චු ගැසීම වැනි කරුණු නිරූපනය වන දත්ත පසුගිය කාලයේ නිකුත් වුවත් ඒවා ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකියැයි කෙනෙකුට මින් පසුව තර්ක කළ හැකිය.