දක්ෂිණ අධිවේගයේ ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුවක් මාගා ට

    August, 27, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යූහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇත.

    එබැවින්, එකී මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ තිබේ.

    ඒ සඳහා, ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම්ලත් දේශීය ආයතන වෙතින් ලංසු කැඳවා ඇත.

    ලැබී ඇති ලංසු ඇගයීමෙන් පසු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ.

    ඒ අනුව, එකී නිර්දේශය මත පදනම්ව, අදාළ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates