දකුණු අප්‍රිකානු සුපිරි වෙළෙඳසැල් ජාලය 20 ක් දක්වා ඉහළට

    December, 10, 2020

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයෙහි වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ හිටපු දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා (06) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදුවිය.

    මෙහිදී ඇය පෙන්වා දුන්නේ එම වෙළඳසැල් සඳහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කර ගත හැකි බවයි.

    දකුණු අප්‍රිකාවේ SPAR සමූහය සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ SPAR සන්නාමය ක්‍රියාත්මක කිරීම සඳහා SPAR International විසින් 2017 දී සිලෝන් බිස්කට් ලිමිටඩ් වෙත බලපත්‍රය ලබා දෙන ලදී.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ SPAR සුපිරි වෙළෙඳසැල් 6 ක් ක්‍රියාත්මක අතර එහි නවතම ශාඛාව ලෙසින් මීගමුව SPAR සුපිරි වෙළෙඳසැල පසුගිය ඔක්තෝබර් මාසයේ දී විවෘත විය. යූනියන් පෙදෙස, තලවතුගොඩ, කළුබෝවිල, මාලබේ සහ පැපිලියාන යන ස්ථානයන් හි සෙසු SPAR සුපිරි වෙළෙඳසැල් ක්‍රියාත්මක වේ.

    ලොව පුරා රටවල් 48 ක ස්ථාන 13,112 ක SPAR සුපිරි වෙළෙඳසැල් ක්‍රියාත්මක අතර 350,000 කට අධික සේවක සංඛ්‍යාවක් ඒවායෙ හි සේවය කරනු ලබන බව වාර්තා වේ.