January, 15, 2021
දැවැන්ත අපනයන හැකියාවක් සමගින් ආර්ථිකය නැංවීමට දායක වීමට සූදානම්
ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සහ රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම’ [Ferentino Tyre Corporation (Pvt) Limited] ඊයේ (2021 ජනවාරි 14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුද සහභාගී වූහ.
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සමගින් ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව, දැනට සිලෝන් ස්ටීල් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Ceylon Steele Corporation (Pvt) Ltd] සභාපති ලෙස කටයුතු කරන, සුප‍්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ සංකල්පයක ප‍්‍රතිඵලයකි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට තුළ ක‍්‍රියාත්මක වූ මෙම වර්ගයේ ප‍්‍රථම සහ එකම ව්‍යාපෘතිය ලෙස සැලකේ. SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක් ඇතුළුව පොදුවේ ‘Passenger Car Radials’ වර්ගයේ ටයර් මෙන්ම යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ ට‍්‍රක් රථ සඳහා ටයර්ද, ඝන ටයර් වර්ගද නිපදවන මෙම කර්මාන්තශාලාව අග්නිදිග ආසියානු කලාපයේ එම වර්ගයේ විශාලතම කර්මාන්තශාලාව බවටද පත්වනු ඇති අතර, දේශීය කාර්ය මණ්ඩලයක් විසින් සංකීර්ණ යුරෝපීය තාක්ෂණයන් භාවිතා කරමින් එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබනු ඇත.

මෙලෙස දේශීය ශ‍්‍රමය හා අතිනවීන යුරෝපීය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් මෙම කර්මාන්තශාලාව මෙරට අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයට දැවැන්ත දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වේ. ආයෝජන මණ්ඩලයේ සහයෝගය සමගින් ක‍්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය මගින් සෘජු හා වක‍්‍ර රැකියා විශාල සංඛ්‍යාවක් නිර්මාණය වනු ඇත.
ෆෙරෙන්ටිනෝ ටයර්ස් සමාගම සිය ප‍්‍රධානතම අමුද්‍රව්‍යය ලෙස දේශීයව සපයාගනු ලබන රබර් භාවිතා කරනු ඇති අතර, මෙය දේශීය රබර් කර්මාන්තය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමක්ද වනු නිසැක ය. ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් අවසන් වී නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතුද 2022 මාර්තු මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

කර්මාන්තශාලාව විවෘත කරන අවස්ථාවේදී අදහස් දක්වමින්, ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්.) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා මෙසේ පැවසීය. ”මෙම අතිශයින් කාලෝචිත ව්‍යාපෘතිය මෙලෙස ආරම්භ කිරීමට ලැබීම අපට විශාල සතුටක්. Covid-19 රෝග ව්‍යාප්තියෙන් පසුව, විශේෂයෙන්ම රැකියා අවස්ථා සහ අපනයන ආදායම් සම්බන්ධ ගැටලූ ඇතුළුව දැනට මතුවී ඇති බොහෝ අභියෝග ජයගැනීම සඳහා එය අත්වැලක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. ඉදිරි වසර කිහිපය තුළදී රට කාර්මික කේන්ද්‍රයක් බවට පත්කිරීමේ දැක්ම පෙරදැරිව කටයුතු කරමින් සිටින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, එම ඉලක්කය වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළුව සියලූම රාජ්‍ය ආයතන වල නිලධාරීන්ටත් මේ මොහොතේදී මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. ෆෙරෙන්ටිනෝ ටයර් සමාගම මෙලෙස ආරම්භ වීම නිසා, ශ‍්‍රී ලංකාවේ පවතින වටිනා ආයෝජන අවස්ථා සොයාබැලීමට අනෙකුත් ආයෝජකයන්ද පෙළඹෙනු ඇතැයි කියා මා බලාපොරොත්තු වනවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ලොකුවිතාන මහතා කියා සිටියේ, මෙම කර්මාන්තශාලාව කාටත් සමාන අවස්ථා සපයන කර්මාන්ත ශාලාවක් වනු ඇති බවයි. ඒ අනුව, නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ මෙතක් පැවති සම්මත සීමාවන් සැලකිල්ලට නොගෙන, තාක්ෂණික අංශ වල යම් යම් තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරූ කාන්තාවන්ද බඳවාගෙන තිබේ. එමෙන්ම පරිසර හිතකාමී ලෙස මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට හා පවත්වාගෙන යාමටද හැකි සෑම පියවරක්ම ගෙන ඇත.
ව්‍යාපාරික ලෝකයේ ප‍්‍රමුඛයෙකු වන නන්දන ලොකුවිතාන මහතා සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජධානියේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධානියාද වන අතර, වානේ සැකසුම් සමාගමක් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සමාගම් එකතුවක් එම සමූහ ව්‍යාපාරය යටතේ පවතී. ඔහුගේ අනෙකුත් ආයෝජන අතරට ඩුබායි හි පිහිටි මැරියට් අල් ජඩාෆ් හෝටලය මෙන්ම හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ ඉදිවන, 2021 මැයි මාසයේ ආරම්භ වීමට නියමිත අතිනවීන සිමෙන්ති ඇඹරුම් කම්හලක්ද, Marangoni Industrial Tyres Lanka සමාගමද ඇතුළත් වේ.
Video Story