දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවයි

    January, 29, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, දරිද්‍රතාවය තුරන් කිරීම සම ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

    මෙම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතා පත්කර ඇත. එහි සෙසු සාමාජිකයින් ලෙසින්,

    විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්, වී. සිවඥානසෝති

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය, මහාචාර්ය එම්.එම්.ඩබ්. ආරියරත්න හේරත්

    කැලණිය විශ්වවිදඨාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

    යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය එස්.එස්. සිවකුමාර්

    විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි

    විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

    විශේෂඥ වෛද්‍ය සංවජීවනී හපුගොඩ

    විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ගයාත්‍රි ගුණරුවන්

    ඊ.ඩබ්. ක්‍රේසි සහ සමාගමේ විධායක නිලධාරී, සංජීව ගුණවර්ධන

    නේචර්ස් සීක්‍රට් ආයතනයේ අධිපති, සමන්ත කුමාරසිංහ

    යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

     

    මෙම කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යයන් පහත පරිදි වේ.

    1. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර සැපයුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
    2. ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම් ජාලය පුළුල් කිරීම පිණිස ලංකා සතොස, සතොස, සමුපකාර පද්ධතිය හා මාක්ෆෙඩ් ආයතනය සම්බන්ධීකරණය කිරීම.
    3. ඉහත තොග ජාලය හරහා පහසු මිලට ආහාර හා අනෙකුත් භාණ්ඩ සැපයීමට දේශීය සැපයුම්කරුවන් දිරි ගැන්වීම මා සජීවීකරණය.
    4. ලංකා සතොස, කෝප්-ෆෙඩ් හා මාක්ෆෙඩ් යන ආයතන හරහා සැපයීම් ජාලය පුළුල් කිරීම පිණිස බිම් මට්ටමේ දී බලයලත් වෙළෙඳ ජාලයක් ඇති කිරීම හා එහිදී කාන්තා ව්‍යවසායකත්වයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම.
    5. රැකියා ලක්ෂයේ වැඩසටහන සඳහා හඳුනාගත් දුප්පත් පවුල් ලක්ෂයක් වෙත තිරසර ජීවනෝපාය මාර්ග වැඩසටහන් ලබා දීම සහතික කිරීම පිණිස බහුකාර්ය සාධක බලකාය සමඟ සම්බන්ධීකරණය
    6. මූලික වශයෙන් ග්‍රාමීය, වතු හා අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ගුණාත්මක මාර්ග පද්ධතියක් සැපයීඹ සඳහා වන කිලෝ මීටර් ලක්ෂයක ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන මහාමාර්ග අමාත්‍යාංශය, පළාත් සභා හා ප්‍රාදේශීය සභා සමඟ සම්බන්ධීකරණය,
    7. ග්‍රාමීය, වතු හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාව සෑහීමකට පත්වන අයුරින් ජල සැපයුම් 150,000 ක් ලබා දීම සහතික කරනු වස් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය සහ ජල සම්පාදන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය,
    8. සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, ස්වයං රැකියා, ගෘහාශ්‍රිත කර්මාන්ත සංවර්ධන මූලාරම්භයන් ප්‍රමුඛත්වයෙහි සලකමින් දුප්පත් හා අඩු ආදායම්ලාභී ජන කොට්ඨාසයන් වෙත මූල්‍ය පහසුකම් සලසා ගැනීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සමෘද්ධි බැංකුව, සමුපකාර බැංකු, නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථාව හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීම පහසු කිරීම,
    9. දුප්පත් හා අඩු ආදායම්ලාභී ජනතාව අතරින් හඳුනා ගනු ලැබූ කෘෂිකාර්මික හා ව්‍යාපාර සංවර්ධනය සඳහා තිස් අවුරුදු බදු පදනම මත දීර්ඝ කාලීන බදු බලපත්‍ර ලක්ෂයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා “බිම් සවිය“ වැඩසටහන සමඟ සම්බන්ධීකරණය,
    10. බිම් මට්ටමෙහි සේවා සැපයුම් දුප්පත් හා අඩු ආදායම්ලාබී ප්‍රජාව වෙත නිසි පරිදි ලබා ගැනීමට පහසුකම් සැලසී ඇති බව සහතික කිරීම පිණිස පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් රජයේ ආයතන සම්බන්ධීකරණය,
    11. වන අලි තර්ජනවලින් ගම් සහ වගා බිම් ආරක්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණය,
    12. පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන ආයතනික සමාජ වගකීම් වැඩසටහන්(CSR) හැකිතාක් දුරට දිළිඳුබව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
    13. විවිධ ජාත්‍යන්තර බැංකු හා අරමුදල් මගින් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා යොදා ගැනීමට අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය සිදුකිරීම.

    මෙම පවරනු ලබන කර්තව්‍යයන් ඉටුකරලීමට අදාළව අවශ්‍ය විය හැකි පරිදි පරීක්ෂණ කිරීම සහ කරුණු විමර්ශනය කිරීම පිණිස උපදෙස් නිකුත් කිරීමට දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය බලකාය වෙත ජනාධිපතිතුමන් විසින් බලයා පවරා තිබේ.

    තවද, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය විසින් උපදෙස් නිකුත් කරනු ලැබිය හැකි නැතහොත් තොරතුරු ලබාගනු පිණිස සහාය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් හා එබඳු සෙසු තැනැත්තන් විසින් තත් කාර්යය සම්බන්ධයෙන් නිසි අයුරින් පිළිපැදිය හැකි එබඳු උපදෙස්වලට අනුකූලව ක්‍රියාකළ යුතු යැයි ද, ලබා දිය හැකි සියලුම සහාය සැලසිය යුතු යැයි ද, සැපයිය හැකි සියලුම තොරතුරු ලබා දිය යුතු යැයි ද ජනාධිපතිවරයා සියලුම රජයේ නිලධරයන්ට සහ සෙසු තැනැත්තන්ය නියෝග කර ඇත.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙම කාර්යසාධක බලකාය වෙත අවධාරණය කර සිටින්නේ, කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ කිසියම් අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් එබඳු ආයතනයක නිලධාරියෙකු විසින් පෙර කී කාර්යසාධක බලකාය විසින් පවරන ලද රාජකාරි හා වගකීම් ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින සියලු අවස්ථා තමන් හට වාර්තා කරන ලෙසයි.

    මේ අතර මෙම කාර්යාසාධක බලකාය සිය නිල නියෝග එක් වසරක කාලයක් තුළ සම්පූර්ණ කර තමා වෙත වාර්තා කළ යුතු බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.