දවස් දෙකක දී රු. බිලියන 600 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

    April, 26, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (26) දිනයේ දී ඒකක 608.48 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,905.37 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 8.10% ක පහළ යාමක් වේ.

    මේ අතර අද දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු සමාප්ති වේලාවට පෙර වෙළෙඳපොළ වසා දැමූ අතර ඊයේ දිනයේ දීද මෙලෙස ම කලින් කොටස් වෙළෙඳපොළ වසා දමනු ලැබිණි. S&P SL20 දර්ශකය 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

    අද දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 229.58 ක හෙවත් 9.75% ක පහළ යෑමක් වාර්තා කර ඇති අතර දිනය අවසානයේ දී එම අගය ඒකක 2,125.96 ක් ලෙසින් දැක්වුණි.

    විටින් විට අවස්ථා තුනක දී දෛනික ගනුදෙනු සැසි අත්හිටුවී බැවින් අද දිනයේ දී ගනුදෙනු සිදු වූයේ මිනිත්තු 5කටත් අඩු කාලයකි. මෙම කාලය තුළ දී රු. මිලියන 800.41 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    මේ අතර අද දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 2,938.82 ක් ලෙසින් සටහන්ව තිබේ.

    මෙම වටිනාකම ඊයේ (25) දින ගනුදෙනු ආරම්භයට පෙර සටහන්ව පැවතියේ රු. බිලියන 3,538.06 ක් ලෙසයි.

    ඒ අනුව දින දෙකක් තුළ දී රු. බිලියන 599.24 කින් කොටස් වෙළෙඳපොළ වටිනාකම අඩු වී ඇත.